Friday, May 26, 2017

චීනයේ වායු දූෂණය ඉහළ යෑමට දූවිලි අඩු වීමත් හේතු වේ

ජගත් පරිසර පුවත් 212 - 17.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 17.05.2017 (Vidusara)


සාමාන්‍යයෙන් ගැටලූවක් සේ සලකන වාතයේ අඩංගු දූවිලි ප‍්‍රමාණය අඩු වීම නිසා නැගෙනහිර දිග චීනයේ වායු දූෂණය ඉහළ යන බව පසුගියදා ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එය සිදුවන ආකාරය පැහැදිලි කර ඇත්තේ වසර 150ක කාලයක් තිස්සේ කලාපයේ සුළං හා දූවිලි ව්‍යාප්ත වන රටාව පිළිබඳ ආකෘති භාවිත කරමින් සිදුකරන ලද අධ්‍යයනයකිනි. එහිදී හෙළි වී ඇති පරිදි ගෝබි කාන්තාරයෙන් ස්වාභාවිකව නිකුත්වන දූවිලි මේ තත්ත්වය සඳහා වඩාත් හේතු වේ.

මේ අනුව වාතයේ අඩංගු දූවිලි ප‍්‍රමාණය අඩු වන විට වැඩි සූර්යාලෝකයක් භූමිය මතට පතිත වීමෙන් භූමියේ උෂ්ණත්වය ඉහළ යයි. මේ ප‍්‍රදේශයේ සුළං ඇති වීම සඳහා භූමියේ උෂ්ණත්වය හා සාගර උෂ්ණත්වය අතර වෙනස බලපායි. අඩු දූවිලි සහිත තත්ත්වයක් තුළ භූමියේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා මුහුද හා භූමිය අතර උෂ්ණත්ව වෙනස අඩු වේ. ඒ නිසා ඇති වන සුළගේ ප‍්‍රබලතාවය අඩු වේ. එහි ප‍්‍රතිඵලය වන්නේ වාතයේ පවත්නා වායු දූෂක සුළං මගින් බැහැර නොගොස් එම ප‍්‍රදේශවලම රැුඳී පැවතීමය. මේ තත්ත්වය නිසා ප‍්‍රදේශයේ වායු දූෂණය තවදුරටත් ඉහළ යයි.

මේ අධ්‍යයනයේදී හෙළි වී ඇති ආකාරයට අඩු වූදූවිලි මට්ටම නිසා මිනිසුන් විසින් නිපදවනු ලබන වායු දූෂක සාන්ද්‍රණය 13%කින් පමණ ඉහළ යා හැකිය. චීනය වායු දූෂණයෙන් තදින් බැට කන රටක් බැවින් මේ තත්ත්වය සැලකිය යුතු කරුණකි. විශේෂයෙන් එරට නාගරික ප‍්‍රදේශවල මේ තත්ත්වය උග‍්‍ර වේ. ඊට හේතුව වන්නේ ගල් අඟුරු බලාගාර හා කර්මාන්තශාලාවලින් නිකුත්වන වායු දූෂක වේ. (මූලාශ‍්‍රය: Nature Communications, DOI: 10.1038/ncomms15333)

No comments:

Post a Comment