Tuesday, June 21, 2016

දේශගුණ වෙනස්වීමෙන් ජලාබුජ කටුස්සන්ට අයහපත් - ජගත් පරිසර පුවත් 004 (13.03.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 13.03.2013 (Vidusara)


දේශගුණ වෙනස්වීමෙන් ජලාබුජ කටුස්සන්ට අයහපත්


දේශගුණ වෙනස්වීම බොහෝ සත්ත්ව විශේෂවලට විවිධ ආකාරයේ තර්ජනයක් ඇති කර තිබේ. පසුගියදා පළවූ අධ්‍යයන වාර්තාවකට අනුව ජලාබුජතාවය පෙන්වන කටුසු විශේෂවලටද මේ නිසා යම් තර්ජනයක් පවතී.

කටුස්සන් අතරින් සමහර විශේෂ ජලාබුජතාවය හෙවත් මවගේ දේහය තුළ කලලය වර්ධනය වීමේ ක්‍රියාවලිය පෙන්වයි. පැටවුන් බිහිකරන බැවින් මේ අනුවර්තනය සිසිල් පරිසරයක් සඳහා ගැලපෙන පරිණාමීය වෙනස්කමක් වන අතර එවැනි කටුස්සන් ශීත ප්‍රදේශවල දැකිය හැකිය. එහෙත් මේ වන විට එයම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇති බව පෙනේ. ඒ මිහිතලයේ උණුසුම ඉහළ යෑම නිසාය.

පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ මේ ජලාබුජ කටුස්සන්ට යෝග්‍ය ප්‍රදේශ ක්‍රමයෙන් අඩු වෙමින් තිබේ. ඉදිරි වර්ෂ පනහක පමණ කාලය ඇතුළත මෙවැනි කටුසු විශේෂ වාසය කරන ප්‍රදේශ අතරින් අඩක පමණ ප්‍රමාණයක උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. ඊට හැඩගැසීමට නම්, ඔවුන් ධ්‍රැව ප්‍රදේශ දෙසට හෝ වඩා ඉහළ උන්නතාංශයක් ඇති ප්‍රදේශවලට සංක්‍රමණය විය යුතුය. එහෙත් එය එවැන්නකට ඇති බාධා හා අවදානම සලකන විය අනාගතයේදී ජලාබුජ කටුසු විශේෂ ගණනාවක් මිහිතලයෙන් වඳවී යා හැකි බව පෙනේ.

රයිනෝ රැකගැනීම පිළිබඳ මත භේද? - ජගත් පරිසර පුවත් 004 (13.03.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 13.03.2013 (Vidusara)

රයිනෝ රැකගැනීම පිළිබඳ මත භේද?


දඩයම් කිරීම නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති රයිනෝසිරස් සත්ත්වයින් රැකගැනීම නීති විරෝධී රයිනෝ අං වෙළෙඳාම නීතිගත කිරීම සඳහා අදහසක් ඉදිරිපත්ව ඇත.

මීට දෙසතියකට පෙර ප්‍රකාශයට පත්වූ දකුණු අප්‍රිකාව පාදක කරගත් පර්යේෂණාත්මක ලිපියකින් පෙන්වාදී තිබුනේ රයිනෝ සතුන් රැකගැනීම සඳහා, ඔවුන් නොමරා වරින්වර අං ඉවත් කිරීම සිදුකිරීම වඩා ප්‍රායෝගික බවය. මේ රයිනෝ අං නැවත වැවෙන බැවින් ලෝකයේ පවත්නා ඉල්ලූම ලබාදීමට හා සතුන්ගේ ජීවීත රැකගැනීමට ඉන් හැකියාව ලැබේ. එහෙත් ඒ සඳහා රයිනෝ අං ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාම් කිරීමට ඇති තහනම ඉවත් කළ යුතු වේ. තහනමක් තිබුණද රයිනෝ අං වෙළෙඳාම ඛෙහෙවින් ව්‍යාප්ත වූ වෙළෙඳාමකි. (මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.1229998)

පසුගිය සතියේ තායිලන්තයේ බැංකොක්හි ආරම්භ වූ තර්ජනයට පත් විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ (CITES) රැස්වීමකදී මේ වර්ෂයේදී රයිනෝ දඩයම් කිරීම වාර්තාගත මට්ටමකට ළඟා වනු ඇති බව දකුණු අප්‍රිකාව පෙන්වා දුන්නේය. වර්ෂයක් ඇතුළත එරට තුළ මරා දමා ඇති රයිනෝ සතුන්ගේ ගණන පසුගිය වර්ෂ පහක කාලයේදී වසරින් වසර දෙගුණ වී තිබේ.

කෙසේ වෙතත් සංරක්ෂණවේදීන් පවසන්නේ මේ තහනම ඉවත් කිරීම යෝග්‍ය නොවන බවය. වෙළෙඳපොළ විවෘත වීම නිසා මේ සතුන් මරා දැමීම තවත් වේගවත් විය හැකි බව ඔවුන්ගේ අදහසයි. මේ අනුව පෙනෙන්නේ රයිනෝ සංරක්ෂණ උපක්‍රම සම්බන්ධව පුළුල් අවධානයක් යොමුවිය යුතු බවය.

Sunday, June 19, 2016

පරිසරය පිළිබඳ අවධානය අඩුයි - ජගත් සමීක්ෂණයකින් හෙළි වේ - ජගත් පරිසර පුවත් 003 (06.03.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර 06.03.2013 (Vidusara)


පරිසරය පිළිබඳ අවධානය අඩුයි - ජගත් සමීක්ෂණයකින් හෙළි වේ


පරිසරය ආශි්‍රත කරුණු පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය අඩු බව පුළුල් සමීක්ෂණයකින් හෙළි වී තිබේ. දේශගුණ වෙනස්වීමද අඩු වැදගත්කමක් ගන්නා බව මෙහිදී හෙළි වී තිබේ. එA අනුව ආර්ථීකය වැදගත් බව දකින පිරිස පරිසරය වැදගත් දකින පිරිස මෙන් පස් ගුණයක් පමණ අධිකය.


චිකාගෝ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් මගින් රටවල් 33ක, 1993 සිට 2010 දක්වා කාලය ඇතුළත සිදුකර ඇති මේ සමීක්ෂණයේදී සාපේක්ෂ වැදගත්කම අනුව පෙළගැස්වීම විෂය අටක් ලබාදී තිබේ. එහිදී ආර්ථීකය රටවල් 15කද, සෞඛ්‍යය රටවල් 8කද, අධ්‍යාපනය රටවල් 6කද, දරිද්‍රතාවය රටවල් 2කද, ත්‍රස්තවාදය හා අපරාධ එක් රටක බැගින්ද මුල් තැනට පැමිණ තිබේ. පරිසරය හා ආගමනය සඳහා කිසිදු රටක මුල් ප්‍රමුඛතාවයක් ලැබී නැත.


කෙසේ වෙතත් ඇතැම් රටවල ජනතාව පරිසරය පිළිබඳ දක්වන සැලකිල්ල සෙසු රටවලට වඩා අධික බවද පෙනී ගොස් ඇත. ස්කැන්ඩිනේවියානු රටවල් එA අතර වේ. එA එA රටවල බරපතළම පාරිසරික ගැටලූව හඳුනාගැනීමේදී සමීක්ෂණයට ලක්වූවත් මුල් තැන ලබාදී ඇත්තේ වායු දූෂණය සඳහාය. දෙවැනි තැන දේශගුණ වෙනස්වීමට හිමිය. කෙසේ වෙතත් මේ කාලය තුළ උක්ත රටවල් සියල්ලේම ජනතාව අතර එA පිළිබඳ ආකල්පවල එතරම් වෙනසක් දැකිය නොහැකි බවද මේ වාර්තායේ දක්වා තිබේ. දේශගුණ වෙනස් වීම ඔවුන් දකින්නේ පුද්ගලික ගැටලූවක් ලෙස නොව ජාතික මට්ටමේ ගැටලූවක් ලෙස බව පෙනේ. (මූලාශ්‍රය: www.norc.org හා www.issp.org)

කොරල් සංරක්ෂණය සඳහා වැදගත් පර හඳුනාගැනීම - ජගත් පරිසර පුවත් 003 (06.03.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර 06.03.2013 (Vidusara)


 කොරල් සංරක්ෂණය සඳහා වැදගත් පර හඳුනාගැනීම


කාබන් ඩයොක්සයිඩ් විමෝචන ඉහළ යෑම නිසා අනාගතයේදී කොරල්පර විරංජනය වීම් සුලභවීමට හා වඩාත් දැඩි වීමට ඉඩ ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මේ නිසා 2045 වර්ෂය වන විට සෑම වර්ෂයකදීම පාහේ විරංජනයට ලක්වන කොරල් පර ප්‍රමාණය සමස්ත පර ප්‍රමාණයෙන් 74%ක් පමණ විය හැකිය. උක්ත අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ දේශගුණ වෙනස්වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයේ (IPCC) ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත පස්වන ඇගැයීම් වාර්තාව සඳහා භාවිත කර ඇති දේශගුණ ආකෘතියයි.

එසේම ලෝකයේ ඇතැම් කොරල් පර, විරංජනයට ලක්වීම තරමක් ප්‍රමාදවීමට ඉඩ තිබේ. මේ නිසා එAවා කොරල්පරවල පැවැත්ම තහවුරු කිරීම සඳහා යොදා ගත හැකි තාවකාලික රක්ෂාස්ථාන (temporary refugia) සේ සැලකිය හැකිය. බටහිර ඉන්දියානු සාගරය, තායිලන්තය, මහා බාධක පරයේ දකුණු ප්‍රදේශ, මධ්‍යම ප්‍රංශ පොලිනීසියාව මෙවැනි පර පිහිටි සාගර කලාප අතර වේ.

අනෙක් අතට කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රමාණය අඩු කළ හැකි නම්, කොරල්පර අතරින් 23%ක් තරම් ප්‍රමාණයක් විරංජනයට ලක් වීම දශක දෙකකින් පමණ ප්‍රමාද කළ හැකි බව මේ අධ්‍යයනයේදී අනාවරණය වී ඇති වැදගත් සිදුවීමකි. (මූලාශ්‍රය: Nature Climate Change, DOI: 10.1038/nclimate1829)

අනාගත මුහුදු මට්ටම ඉහළ යෑම තැනින් තැනට වෙනස් වන අයුරු - ජගත් පරිසර පුවත් 002 (27.02.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර 27.02.2013 (Vidusara)

අනාගත මුහුදු මට්ටම ඉහළ යෑම තැනින් තැනට වෙනස් වන අයුරු


මේ ශතවර්ෂය ඇතුළත ඇතිවන මුහුදු මට්ටම ඉහළ යෑම ලෝකයේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට සැලකිය යුතු ආකාරයෙන් වෙනස් විය හැකි බව පරිගණක ආකෘතියක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත. මේ සඳහා හේතුවන්නේ මුහුද, ගොඩබිම හා අයිස් එකිනෙක හා අන්තර්ක්‍රියා කරන ආකාරයයි. භූමිගේ ඇති වන ගිලීයෑම හා ඉහළය මතුවීම්, මුහුදේ ජලය උණුසුම්වීම නිසා ලෝකය පුරා ජලය පැතිරයාමේ වෙනස්කම් ඇති වීම හා ධ්‍රැව ප්‍රදේශවල අයිස් නිසා ජලය මත ඇතිකර ගුරුත්වාකර්ෂණ බලපෑම වෙනස් වීම මේ සඳහා බලපාන සාධක අතර වේ.


මේ අනුව හෙළි වී තිඛෙන්නේ වැඩිම මුහුදු මට්ටම ඉහළ යෑමක් පැසිෆික් සාගරයේ ඇතැම් ප්‍රදේශවල දැකිය හැකි බවය. එසේම, ධ්‍රැව ප්‍රදේශවල මුහුදු මට්ටම කිසියම් අඩුවීමක් පවා ඇති විය හැකිය.

ලෝකයේ තැනින් තැන මුහුදු මට්ටම ඉහළ යන ආකාරය වෙනස් විය හැකි බව මින් ඉහතදීද දැන සිටි කරුණකි. (මූලාශ්‍රය: Geophysical Research Letters, DOI: 10.1029/2012GL053000)

කැස්බෑවුන් රකින්නට නම් බිජු ලන බිම් සුරකින්න - ජගත් පරිසර පුවත් 002 (27.02.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 27.02.2013 (Vidusara)


කැස්බෑවුන් රකින්නට නම් බිජු ලන බිම් සුරකින්න


කැස්බෑවුන් යනු ලෝකයේ වාසය කරන වඩාත් තර්ජනයට ලක්ව ඇති සත්ත්ව කාණ්ඩයකි. ඔවුන් මුහුණදී ඇති තර්ජන අතර දේශගුණ වෙනස්වීමද මුල් තැනක් ගනියි. විශේෂයෙන් මුහුදු මට්ටම ඉහළ යෑම, කුණාටු තත්ත්ව දැඩි වීම, ඉහළ උෂ්ණත්වය වැනි තත්ත්ව නිසා කැස්බෑවුන්ගේ බිත්තර දමන ප්‍රදේශවල ගැටලූ ඇති විය හැකිය. අදාළ භූමියේ පවත්නා උෂ්ණත්වය මත ජනිතයින්ගේ ගැහැණු-පිරිමි අනුපාතය තීරණය වීමද වැදගත් කරුණකි.

මේ අධ්‍යයනයේදී හඳුනාගෙන ඇති ආකාරයට කැස්බෑවුන් සඳහා වැදගත් වන ප්‍රාදේශීය කළමනාකරණ එ්කක (regional management units) 58ක් අතරින් 13ක් පමණ ප්‍රමාණයක් දේශගුණ වෙනස්වීමට ඔරොත්තුදීමට අඩු හැකියාවක් දක්වයි. එA ප්‍රදේශවල වෙසෙන කැස්බෑවුන් ආරක්ෂා කිරීම අභියෝගයකි.

මේ සඳහා ඔවුන් බිත්තර දමන බිම් ප්‍රදේශ හා බිජු දැමීමට යෝග්‍ය වූ ප්‍රදේශ ආරක්ෂා කිරීම ඉතා වැදගත් පියවරක් බව ජගත් මට්ටමේ අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. එසේම උෂ්ණත්වයේ බලපෑම පාලනය සඳහා බිත්තර රැක්කවීමේ කාර්යයේදී මැදිහත්වීමද වැදගත් විය හැකිය. එසේම අහම්ඛෙන් මත්ස්‍ය දැල්වලට පැටලීම වැළැක්වීම හා වෙරළබඩ ප්‍රදේශවල සිදුවන සංවර්ධනය පාලනය කිරීමද කැස්බෑ සංරක්ෂණය සඳහා අත්‍යවශ්‍ය වේ. දේශගුණ වෙනස් වීම පාලනට කිරීමට තවත් කල් ගතවිය හැකි බැවින් මේ පියවර අනුගමනය කිරීම යෝග්‍ය වේ. (මූලාශ්‍රය: Global Change Biology, DOI: 10.1111/gcb.12138)

මානසික රෝග ඔසුවකින් මසුන්ට බලපෑමක් - ජගත් පරිසර පුවත් 001 (20.02.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 20.02.2013


මානසික රෝග ඔසුවකින් මසුන්ට බලපෑමක්


මානසික රෝග සඳහා මිනිසුන් විසින් භාවිත කරන ඖෂධයක් මිනිස් බහිස්‍රාවී ද්‍රව්‍ය සමග බාහිර පරිසරයට එක්වීමෙන් පසුව ජලමාර්ගවලට මිශ්‍රවී මත්ස්‍යයින්ගේ හැසිරීම්වලට බලපෑම් කළ හැකි බව පසුගියදා වාර්තා විය.

මේ බව හෙළි වී ඇත්තේ පරීක්ෂණාගාර තත්ත්ව යටතේ ඔක්සසෙපෑම් (Oxazepam) නම් ඖෂධය යුරෝපියානු පර්ච් (Perca fluviatilis) මත්ස්‍යයාට බලපාන ආකාරය පිළිබඳව ස්වීඩනයේ සිදුකරන ලද පර්යේෂණයකදීය. එහිදී මේ මසුන් ජලමාර්ගවල හමුවන සාන්ද්‍රණයට සමාන වූ ඔක්සසෙපෑම් සාන්ද්‍රණයකට නිරාවරණය කර ඇති අතර මෙහිදී ඔවුන්ගේ හැසිරීමේ සැලකිය යුතු වෙනස්වීම් පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර ඇත. නිදසුනක් ලෙස ගතහොත් මේ මත්ස්‍යයින්ගේ ආහාර ගැනීම වේගවත් වී ඇති අතර සමාජශීලී භාවය අඩු වී තිබේ. එසේම අදාළ මසුන්, සාමාන්‍ය මසුන්ට වඩා අධික ක්‍රියාකාරිත්වයක්ද පෙන්වා තිබේ.

මසුන් මෙන්ම ජලජ පරිසරයේ ජීවත්වන වෙනත් ජීවීන්ද නිරත්නරව එහි ඇතුළත් රසායනික ද්‍රව්‍යවල බලපෑමට ලක්වීම සැලකිය යුතු ගැටලූවකි. මෙහි ඇති වැදගත්කම වන්නේ ප්‍රතිකාර කරන ලද ජලයේ පවා ඖෂධ වැනි රසායන ද්‍රව්‍ය ඇතුළත් විය හැකි වීමය. (මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.1226850)