Wednesday, April 19, 2023

හරිතාගාර වායු 2022 දී සීග්‍රයෙන් වැඩිවෙලා

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 488

විදුසර, 2023-04-19, පි. 2


ඇමරිකාවේ ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනය (NOAA) පෙන්වා දෙන ආකාරයට ගත වූ 2022 වර්ෂයේ දී ලෝකයේ හරිතාගාර වායු විමෝචන ඉහළ ගොස් තිබේ. කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා නයිට්‍රස් ඔක්සයිඩ් යන ප්‍රධාන හරිතාගාර වායු තුනම මෙසේ ඉහළ ගොස් තිබේ.

වායුගෝලයේ පවත්නා කාබන් ඩයොක්සයිඩ් මට්ටම 2022 වර්ෂයේ දී මිලියනයකට කොටස් (ppm) 2.13කින් ඉහළ ගිය අතර, වර්ෂයේ පැවති සාමාන්‍ය අගය 417.06කට ළඟා විය. මේ වායුව මැනීම ආරම්භ වූ වසර 65ක කාලය ඇතුළත, මේ වායුවේ සාන්ද්‍රණය වර්ෂයක් තුළ මිලියනයකට කොටස් දෙකකට අධික ප්‍රමාණයකින් ඉහළ ගියේ පිටපිටම 11 වැනි වර්ෂයටය. එසේම අද වායුගෝලයේ පවත්නා කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය, පූර්ව කාර්මික අවධියේ පැවති සාන්ද්‍රණයට වඩා 50%කින් පමණ ඉහළය.

2022 වර්ෂයේ දී මීතේන් වායුවේ සාන්ද්‍රණය බිලියනයකට කොටස් 14කින් ඉහළ ගිය අතර, වර්ෂයේ පැවති සාමාන්‍ය අගය 1911.9ක් දක්වා ඉහළ ගියේය. මීතේන් මැනීම ආරම්භ වූ 1983 වර්ෂයෙන් අනතුරුව, වාර්තා වී ඇති සාන්ද්‍රණයේ වාර්ෂික වර්ධනය අතින් සිව්වැනි ඉහළම අගය 2022 වර්ෂයට හිමි වේ. පූර්ව කාර්මික අවධියේ වායුගෝලයේ පැවති මීතේන් මට්ටමට වඩා අද වායුගෝල‌යේ ඇති මීතේන් මට්ටම දෙකහමාර ගුණයකින් ඉහළය. අප දන්නා පරිදි කාබන් ඩයොක්සයිඩ් තරම් සුලබ නොවූවත්, මීතේන් වායුවේ හරිතාගාර ආචරණ විභවය ඉහළය.

නයිට්‍රස් ඔක්සයිඩ් වායුව පසුගිය වර්ෂයේ දී බිලියනයකට කොටස් 1.24කින් ඉහළ ගිය අතර 2022 දී පැවති සාමාන්‍ය මට්ටම බිලියනයකට කොටස් 335.7ක් විය. 2022 දී ඇති වූ වර්ධනය ප්‍රමාණය අනුව දෙවැනි වූයේ 2020 හා 2021ට පමණක් වේ. මෙය පූර්ව කාර්මික අවධියේ පැවති සාන්ද්‍රණයට වඩා 24%ක වර්ධනයකි.

No comments:

Post a Comment