Wednesday, April 5, 2023

ලෝකය බරපතළ ජල අර්බුදයක් අභියස!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 487
විදුසර, 2023-04-05, පි. 2


මේ දශකය අවසන් වන විට ලෝකයේ මිරිදිය සඳහා ඇති ඉල්ලූම සැපයුමට වඩා 40%ක් පමණ ඉහළ වනු ඇතැයි ජලය පිළිබඳ වාර්තාවක් පෙන්වා දෙයි. ජල ආර්ථිකය පිළිබඳ ගෝලීය කොමිසම (GCEW) මගින් ප‍්‍රකාශයට පත් කර ඇති ‘රළ ආපසු හැරවීම’ (Turning the Tide) නම් මේ වාර්තාව ජල සම්පත පත්ව ඇති අර්බුදය පිළිබඳව සලකා බලන්නේ ඒ ඒ රටවල්වලට ජලය කෙතරම් වැදගත් සම්පතක් වන්නේ ද යන්න දක්වමිනි. ඒ අනුව ලෝකය ඉතා බරපතළ ජල අර්බුදයකට මුහුණ දී ඇත.

ලෝකයේ ජල සම්පතට ඇති වී තිබෙන ප‍්‍රධානතම බලපෑම් වන්නේ අධි භාවිතය, ජල ¥ෂණය හා දේශගුණ අර්බුදයයි. ඇතැම් රටවල් දැනටමත් තම රටේ ඇති ජල සම්පතට වඩා වැඩි ප‍්‍රමාණයක් භාවිත කරයි. එමෙන්ම ජලය බෙදාගැනීම පිළිබඳව ද ගැටලූ පවතී.

ඇතිවිය හැකි ජල අර්බුදය විසදීම සඳහා මේ වාර්තාවේ දැක්වෙන නිර්දේශ කීපයක් තිබේ. ජලය ගෝලීය පොදු සම්පතක් ලෙස සලකා කටයුතු කළ යුතු අතර, එය සාමූහිකව ආරක්ෂා කළ යුතුය යන්න ඉන් එකකි. ජලය උදෙසා බොහෝ රටවල් සිය අසල්වැසි රටවල් මත යැපෙන අතර ජලය සාධාරණ ලෙස රටවල් අතර බෙදාගැනීමට කටයුතු කළ යුතුය. ජලය සඳහා අඩු මිලක් දීම නැවැත්විය යුතු අතර ජලයේ පිරිවැය සලකා නියම මිල නිරූපණය විය යුතුය. එසේම අධික ලෙස ජලය උකහාගැනීම හා අධි භාවිතය සඳහා හේතුවන, විවිධ රටවල ක‍්‍රියාත්මක කෘෂි හා ජල සහනාධාර නැවැත්වීම සඳහා ද කටයුතු කළ යුතුය. එසේම ජලය භාවිත කිරීමේ දී අපතේ යන ලෙස සිදුකරන පිළිවෙත් නැවැත්වීම සඳහා සියලූ ආකාරයේ කර්මාන්ත විසින් කටයුතු කළ යුතු වේ. තව ද අඩු හා මධ්‍ය ආදායම් ඇති රටවල ජල ප‍්‍රවේශය හා තිරසර බව ළඟාකරගැනීම සඳහා වන අයෝජන සඳහා සුදුසු ජලය පිළිබඳ හවුල්කාරිත්වයන් ඇතිකර ගනිමින් සහාය වීම ද වැදගත් කරුණකි.

මේ වාර්තාව නිකුත් වන්නේ මේ සතියේ නිව්යෝක නගරයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජල සමුළුව ආසන්නයේ දී වීම වැදගත් කරුණකි.

මූලාශ‍්‍රය - Turning the Tide: A Call to Collective Action, www.watercommission.org

No comments:

Post a Comment