Tuesday, April 30, 2019

ක්ෂුද්‍ර ප්ලාස්ටික් සුළෙඟ් බොහෝදුර පැතිරෙයි

ජගත් පරිසර පුවත් 310 - 24.04.2019


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.04.2019, පි. 3 (Vidusara)



ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිළිබඳව මුලින්ම අවධානය යොමුවන්නේ ඒවා සාගරයේ හමුවීම ගැනය. පසුව එ්වා මිරිදියෙහි හා පසෙහිද හමුවිය. එහෙත් වායුගෝලයේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් දැකිය හැකි බව විද්‍යාඥයින් විසින් ක‍්‍රමයෙන් අවබෝධ කරගන්නා ලද කරුණකි.

වායුගෝලය ඔස්සේ ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල පැතිරීම පිළිබඳව මෙතෙක් සිදුකර ඇති අධ්‍යයන ස්වල්පයක් වූ අතර ඒවාද මූලික වශයෙන් නාගරික ප‍්‍රදේශ ආශ‍්‍රිතව විය. එහෙත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් වායුගෝලය හරහා සුළඟ මගින් ගසාගෙන යාමෙන් එම ප්ලාස්ටික් ජනනය වන ප‍්‍රදේශයට වඩා ඉතා ඈතින් පිහිටි සාපේක්ෂව දූෂණයට ලක් නොවූ පළාත් දක්වා ව්‍යාප්ත විය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේවා වායුගෝලයෙන් පැමිණ දූවිලි මෙන් තැන්පත් වන බව හෙළි වී තිබෙයි.

මානව ජනාවාස සීමිත වූ හා කර්මාන්ත ඉතා අඩු වූ ප‍්‍රදේශයක් වන ප‍්‍රංශයේ පිරනීස් කඳුකරය ආශ‍්‍රිතව ජලයේ හා පස් තැන්පතුවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමුවීම මෙම පර්යේෂකයන්ට ගැටලූවක් විය. ඒ එම ප්ලාස්ටික්වල ප‍්‍රභවය කොතැනක වීද යන්නය. මාස පහක පමණ කාලයක් පුරා එම ප‍්‍රදේශයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් නියැදි එකතු කරමින් ඒ පිළිබඳව සිදුකර තිබෙන මෙම අධ්‍යයනය මගින් පෙනී ගොස් ඇති ආකාරයට, ප‍්‍රමාණ ගණනාවක ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිරනීස් කඳුකරයේ වායුගෝලයෙන් හමුව තිබේ. ඒවා වරක් භාවිත කර ඉවත දමන ද්‍රව්‍යවලින් නිකුත්වන ප්ලාස්ටික් වර්ගවලට අයත් බවද හඳුනාගෙන ඇත.

එහෙත් එමගින් එම ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොතැනින් පැමිනෙන්නේද යන්න තීරණය කළ නොහැකි වූ නිසා පර්යේෂකයන් ඒ සඳහා එම ප‍්‍රදේශය හරහා යන වායු ධාරා පිළිබඳ පරිගණක ආකෘති යොදාගෙන ඇත. ඒ අනුව ඒවා පැමිණන්නේ කුමන දිසාවකින්ද යන්න ඔවුන්ට තීරණය කළ හැකිව ඇත. ඒ අනුව එම ප්ලාස්ටික් අංශු වායුගෝලය හරහා කිලෝමීටර් 95ක් පමණ දුරට ගසාගෙන පැණ ඇති බව ඔවුන් නිගමනය කර ඇත. එමෙන්ම ඊටත් වැඩි දුරකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් සුළඟ මගින් ගසාගෙන යන යා හැකි බවද පැහැදිලි වී තිබෙයි.

මේ අනුව වායුගෝලය ද ක්ෂුද් ප්ලාස්ටික් පැතිරීම සඳහා මාධ්‍යයක් ලෙස ක‍්‍රියාකරන බව යළිත් තහවුරු වී ඇත. ඒ අනුව ගැටලූව අප මෙතෙක් සිතුවාට වඩා භයානක එකක් බව මෙම පර්යේෂකයින්ගේ අදහසය. මෙය මිනිසුන්ට මෙන්ම සෙසු ජීවීන්ටද බලපාන අන්දම අවධානයට ලක්විය යුතු එකකි.

මූලාශ‍්‍රය - Nature Geoscience, DOI: 10.1038/s41561-019-0335-5

No comments:

Post a Comment