Tuesday, April 30, 2019

උභයජීවීන් මරණයට පත් කරන රෝගය වාර්තාගතයි

ජගත් පරිසර පුවත් 308 - 03.04.2019


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.04.2019, පි. 3 (Vidusara)



එක් රෝගයක් නිසා ස්වාභාවික ලෝකයේ සිදුවන වැඩිම ලේඛනගත විශේෂ හානියට උභයජීවීන්ගේ මරණයට හේතුවන දිලීර රෝගය වගකිව යුතු බව අධ්‍යයනයක් මගින් පෙන්වා දී ඇත. එබැන් එය ලෝකයේ සිදුවෙමින් ඇති සයවන මහා වඳවීම සඳහා බලපායි.

පසුගිය වසර පණහක පමණ කාලයේ දී කයිටිඩයෝමයිකෝසිස් (chytridiomycosis) නම් මෙම රෝගය නිසා ගෙම්බන්, මැඩියන් හා සලමන්දරාවන් අති විශාල ප‍්‍රමාණයක් මියගොස් තිබෙයි. මේ වන විට රෝගය ව්‍යාප්තව ඇති රටවල් ගණන රටවල් 60කට අධික වෙයි. ඉන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඔස්ටේ‍්‍රලියාව, මධ්‍යම ඇමරිකාව හා දකුණු ඇමරිකාවයි. මෙම රෝගය උභයජීවීන්ට වැළඳී ඇති ආකාරය මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ අදින් දශක තුනකට පමණ ඉහතය. මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ උභයජීවීන් විශාල ලෙසින් මියයන ආකාරයයි. ඒ සඳහා හේතුවන්නේ Batrachochytrium dendrobatidis නම් දිලීරය බව අනාවරණය වූ අතර එය මෙම සතුන්ගේ සමට බෝවන්නකි. එමගින් එම සතුන්ගේ දේහය ආහාරයට ගනු ලැබෙයි.

මේ රෝගය සම්බන්ධව ලෝකය පුරා සිදුකර ඇති අධ්‍යයන සමාලෝචනය කිරීමේ දී හෙළිව ඇත්තේ අවම වශයෙන් උභයජීවී විශේෂ 501ක් වඳවීමේ තර්ජනයට ලක් කිරීමට මෙම රෝගය සමත්ව ඇති බවයි. එම ප‍්‍රමාණය හඳුනාගෙන ඇති උභයජීවී විශේෂ අතරින් 6.5%ක් පමණ වෙයි. එසේම මෙම රෝගය නිසා උභයජීවී විශේෂ 90ක් ස්වාභාවික පරසරයෙන් මුළුමනින්ම වඳවී ගොස් ඇත. තවත් විශේෂ ඉතිරිව ඇති ගහන 90%ක් තරම් ප‍්‍රමාණයකින් අඩු වී ඇත.

ඇතැම් උභයජීවී විශේෂවල මරණය සඳහා බලපාන එකම සාධකය මෙම රෝගය වන අතර තවත් විශේෂවලට වෙනත් සාධක සම`ග එක්ව මෙහි බලපෑම ඇති වෙයි. ඒ සෙසු සාධක අතර, වාසස්ථාන අහිමි වීම, දේශගුණ වෙනස් වීම හා ආක‍්‍රමණික ජීවී විශේෂ වෙයි.

ගෝලීයකරණය හා වනජීවී වෙළෙඳාම මෙම රෝගය ව්‍යාප්ත වීම සඳහා බලපාන මූලික සාධක ලෙස හඳුනාගෙන ඇත. මිනිසුන්ගේ මෙම කටයුතු නිසා රෝගය තවත් ප‍්‍රදේශවලට ව්‍යාප්ත වෙයි. රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට නම් වඩාත් ඉහළ ජෛව සුරක්ෂිතතාවයක් හා වනජීවී වෙළෙදාම පිළිබඳ සීමා පැනවීම අත්‍යවශ්‍ය බව මෙම පර්යේකයන්ගේ අදහස වෙයි.

මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.aav0379

No comments:

Post a Comment