Tuesday, April 30, 2019

ජගත් දේශගුණ බලපෑම් වේගවත් වෙයි

ජගත් පරිසර පුවත් 308 - 03.04.2019


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 03.04.2019, පි. 3 (Vidusara)



ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට (WMO) අනුව මිහිතලය උණුසුම් වීම නිසා ඇතිවන භෞතික හා මූල්‍යමය බලපෑම් තවදුරටත් වේගවත් වනු ඇත. එම සංවිධානය මගින් 25 වැනි වර්ෂයටද නිකුත් කර ඇති වාර්ෂික දේශගුණයේ තත්ත්වය (WMO Statement on the State of the Global Climate in 2018) නම් වාර්තාව මගින් මේ බව පෙන්වා දී තිබෙයි.

මෙම වාර්තාව පළමුවෙන්ම ප‍්‍රකාශයට පත් වූ 1993 වර්ෂයේ ලෝකයේ වායුගෝලයේ පැවති කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය වූයේ මිලියනයකට කොටස් 357කි. අද වන විට මෙම අගය කොටස් 405.ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය තවදුරටත් ඉහළ යමින් තිබෙයි. මේ නිසා ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ සැලකිය යුතු වෙනස්කම් සිදුව ඇත. ගත වූ 2018 වර්ෂයේ ලෝකයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වය 1850-1900 අතර කාලයේ ලෝකයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1ක් පමණ ඉහළය. එම වර්ෂය ලෝකයේ මෙතෙක් වාතා වූ උණුසුම්ම වර්ෂ අතරින් සිව්වැනි තැන ගනියි. ලෝකයේ මෙතෙක් පැවැති උෂ්ණත්වයෙන් ඉහළම වර්ෂ හතර වන්නේ 2015 සිට 2018 දක්වා වූ වර්ෂය.

එසේම මේ තත්ත්වය අප අවබෝධකරගත යුත්තේ වර්තමාන ප‍්‍රවණතාවය අනුව මෙම සියවස අවසන් වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 3-5 අතර ප‍්‍රමාණයකින් ඉහළ යා හැකි බැවිනි. ඉන් සෙල්සියස් අංශක එකක් මේ වන විටද ඉහළ ගොස් ඇත.

ගත වූ 2018 වර්ෂය තුළ ඇතිව තිබෙන වෙනස් වීම් පිළිබඳවද උක්ත වාර්තාව සඳහන් කරයි. නිදසුනක් ලෙස ගතහොත් 2018 වර්ෂයේ ලෝකයේ මුහුදු මට්ටම ඊට පෙර වර්ෂයට වඩා මිලිමීටර 3.7ක් පමණ ප‍්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙයි. ග්ලැසියර දියවීම, සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑම, ආම්ලිකකරණය වැනි තත්ත්වද තවදුරටත් සිදුවෙමින් තිබෙයි. එසේම 2018 වර්ෂයේ සිදු වී ඇති ආන්තික කාලගුණ තත්ත්ව නිසා ඇති වූ ස්වාභාවික ආපදා නිසා මිලියන 62ක් පමණ පිසක් බලපෑමට ලක්ව තිබෙයි. 

මූලාශ‍්‍රය: WMO Statement on the State of the Global Climate in 2018, www.wmo.int

No comments:

Post a Comment