Wednesday, August 23, 2023

ලෝක ජනගහනයෙන් කාලක් ඉතා ඉහළ ජල ආතතියක?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 497
විදුසර, 2023-08-23. පි 2


ලෝකයේ රටවල් විසිපහක වාසය කරන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ පිරිසක් ඉතා ඉහළ ජල ආතතියකට (extremely high water stress) මුහුණ දී ඇති බව හෙළිවී තිබේ. මේ රටවල ඇති ජල සැපයුමෙන් අවම වශයෙන් 80%ක් වාර්ෂිකව භාවිත කරන බැවින් ඒ කාණ්ඩයට ඇතුළත් කර ඇත. එසේම ලෝක ජනගහනයෙන් අඩක් හෙවත් බිලියන 4ක් පමණ ජනගහනයක් අවුරුද්දේ මාසයක් පමණ කාලයක් ඉහළ ජල ආතතියකට (highly water-stress) මුහුණ දී ඇති රටවල වාසය කරයි. එනම් ඒ රටේ ජල ජල සැපයුමෙන් 40%කට අධික ප්‍රමාණයක් භාවිතය සඳහා ලබා ගන්නා රටවල්ය. ලෝක සම්පත් ආයතනය (WRI) සකස් කරන ජල ආතතී සිතියමෙන් මේ කරුණු හෙළි වී තිබේ.

ජලය මෙසේ අධික ලෙස භාවිත වන්නේ විවිධ මානව අවශ්‍යතා නිසාය. ජනගහනය ඉහළ යෑම, කෘෂිකර්මය, කර්මාන්ත ආදි විවිධ අශ්‍යතා සඳහා ජලය භාවිත කරනු ලැබේ. දේශගුණ වෙනස් වීම වර්තමාන ජල අර්බුදය සඳහා දායක වී තිබේ. පුනර්ජනනය වන සම්පතක් වන ජලය සැපයෙන ප්‍රමාණයට වඩා අධිකව ඒ සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම ජල ආතතියට හේතුවයි.

මේ සමඟ දක්වා ඇති ආකරයට ලෝකයේ ජලය සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවත්නා අතර 1960 සිට මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එසේම 2050 වර්ෂය වන විට ලෝකයේ ජල ඉල්ලුම 20%ත් 25%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. මේ තත්ත්වය ලෝකයේ විවිධ ප්‍රදේශවලට බලපා ඇති ආකාරය වෙනස්ය. යුරෝපයේ හා ඇමරිකාවේ ජල ඉල්ලුම ස්ථාවර වී ඇතත්, අප්‍රිකා මහාද්වීපයේ රටවල එය ඉහළ යමින් තිබේ. එසේම වැඩිම ජල ආතතියක් පවතින්නේ මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේය.
මූලාශ්‍රය - WRI’s Aqueduct Water Risk Atlas, www.wri.org/aqueduct

හිම අඩු වී වැසි වැඩි වීම

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 497
විදුසර, 2023-08-23, පි. 2


උතුරු අර්ධගෝලයේ අතීතයේ හිම පතිත වූ කඳුකර ප්‍රදේශවල මේ වන විට හිම පතනය අඩු වී වර්ෂාව ඉහළ ගොස් ඇති වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මේ සඳහා දේශගුණ වෙනස් වීමේ බලපෑමක් ඇති අතර, උෂ්ණත්වය ඉහළ යන එක් සෙල්සියස් අංශකයක් සඳහා ආන්තික වර්ෂාපතනය 15%කින් ඉහළ යන බව එහි දක්වා ඇත. මෙය වායුගෝලයේ ජලවාෂ්ප ඉහළ ගොස් ඇති ප්‍රමාණය නිසා අපේක්ෂිත වර්ෂාපතන ඉහළ යෑඹට මෙන් දෙගුණයක් පමණ වේ.

මේ නිරීක්ෂණය 2019 වර්ෂයේ දී දේශගුණ වෙනස්වීම පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) මගින් පළ කළ විශේෂ වාර්තාවකින් පෙන්වා දුන් කරුණු හා සමගාමී වේ. එහි දක්වා තිබූ පරිදි කඳුකර කලාපවල පහළ මට්ටම්වල හිම පතනය වීම අඩු වී ඇති අතර, ඒ සඳහා අඩු වශයෙන් යම් පමණකට බලපා ඇත්තේ ඉහළ ගොස් ඇති උෂ්ණත්වයයි.

මේ අධික වර්ෂා තත්ත්වය නිසා ඇතැම් කඳුකර ප්‍රදේශවල වඩා බරපතළ විය හැකිය. නිදසුනක් ලෙස ඉන්දියාව හා තවත් රටවල් කීපයකට යාව පිහිටන හිමාලය කඳුවැටිය ආශ්‍රිතව ලෝකයේ වෙනත් එවැනි කලාපවලට වඩා වැඩි අවදානමක් ඇති බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. ඒ අධික ආන්තික වැසි සමඟ නාය යෑම්, ගංවතුර, මෙන්ම වර්ෂාව නිසා ඇති වන ජල ප්‍රවාහ මේ අවදානම ඇති වීමට හේතුවේ. උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින් ඉහළ යන හිම දියවීම ද මේ තත්ත්වය වඩාත් බරපතළ කළ හැකිය. මේ තත්ත්වය වැළැක්වීම සඳහා දැඩි අනුහුරුවීමේ සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව උක්ත අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-023-06092-7

සබැඳිය - https://www.nature.com/articles/s41586-023-06092-7



Wednesday, August 9, 2023

ලෝකය උණු වී පැසෙන යුගය ඇරඹෙයි?

ගෝලීය උණුසුමෙන් ඔබ්බට - වැඩිම උෂ්ණත්වයක් පැවති මාසය ජුලි මාසය ද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 496
විදුසර, 2023-08-09, පි. 2


ගත වූ 2023 ජුලි මාසය උෂ්ණත්ව වාර්තා සහිත මෑත අතීතය තුළ වාර්තා වී ඇති වැඩිම ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පැවති මාසය විය හැකි බව ලෝක කාලගුණවිද්‍යා සංවිධානය ප‍්‍රකාශ කළේ මාසය අවසානයේදීය. ඒ මාසයේ මුල් දින 23 තුනක කාලයේ පැවති සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය, වෙනත් වර්ෂවල ඒ හා සමාන කාලවක් කාලයක් සඳහා පැවති උෂ්ණත්වයට වඩා අධික වූ නිසාය. ඒ සඳහා පදනම් කරගත්තේ යුරෝපයේ කොපර්නිකස්ප දේශගුණ වෙනස්වීමේ සේවය නම් ආයතනයේ දත්තය. ඒ අනුව 2023 ජුලි මාසය ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩිම ජුලි මාසය මෙන්ම, සියලූ මාස අතරින් සාමාන්‍ය උෂ්ණත්වය වැඩිමම මාසය ද විය හැකි බව ඔවුන් විසින් පෙන්වා දී තිබේ. එය එසේ වුවහොත් බිඳ වැටෙන්නේ සෙල්සියස් අංශක 16.63ක උෂ්ණත්වයක් පැවති 2019 ජුලි මාසයේ උෂ්ණත්ව වාර්තාවයි. (කෙසේ වෙතත්, 2023 ජුලි මාසයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වය පිළිබඳ නිල උෂ්ණත්ව අගයයක් ඇතුළත් නිවේදනයක් මේ සටහන ලියන මොහොත වන විට ද නිකුත් වී නොතිබිණි).

මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් කළ ප‍්‍රකාශයක් වැදගත්ය. ඔහු පැවසූයේ ”ගෝලීය උණුසුම් වීමේ යුගය අවසන් වී, ලෝකය උණු වී පැසෙන යුගය ආරම්භ වී ඇත” යනුවෙනි (the era of global boiling has arrived). වෙනත් වචනවලින් පවසන්නේ නම් ඔහු පෙන්වා දුන්නේ පවත්නා තත්ත්වය පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව වඩාත් නරක එකක් වනු ඇති බවයි.

ලෝකයේ මෙතෙක් වාර්තාගත දෛනික සාමාන්‍ය ගොඩබිම් උෂ්ණත්වයේ ඉහළම අගය වාර්තාවූයේ ද ගත වූ ජුලි මාසයේ දීය. එය ජුලි මස 6 වැනි දා වාර්තා වූ සෙල්සියස් අංශක 17.08ක අගයයි. ඒ ආසන්න දිනවල පැවති උෂ්ණත්ව අගයයන් ද වාර්තාගත ඒවා විය. එමගින් බිඳ වැටුනේ 2016 වර්ෂයේ පැවති දෛනික වැඩිම උෂ්ණත්වය පිළිබඳ වාර්තාවකි. මේ අතර ලෝකයේ ප‍්‍රදේශ රැසකින් ඒ ප‍්‍රදේශවල වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්ව අගයයන් ද වාර්තා වී තිබිණි.

මේ අතර අගෝස්තු 1 වැනිදා සාගරයෙන් වාර්තා වූ දෛනික ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 20.96ක් විය. මෙය 1979-2023 අතර කාලයේ දී සාගරයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වේ. මීට පෙර පැවති ඉහළම උෂ්ණත්වය පැවැති 2016 වර්ෂයේ මාර්තු 29 දා තිබූ උෂ්ණත්වයට වඩා අංශක 0.01කින් පමණ ඉහළය. කෙසේ වෙතත් අගෝස්තු මාසයේ දී සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑම විද්‍යාඥයින්ගේ කණස්සල්ලට හේතු වී ඇත්තේ සාමාන්‍යයෙන් ඉහළම උෂ්ණත්වය වාර්තා වන්නේ මාර්තු මාසයේ පමණ වන නිසාය. ඒ අනුව ඉදිරි මාර්තු මාසය දක්වා වන කාලය තුළ සාගරඋෂ්ණත්වය වෙනස්වන ආකාරය අවධානයට ලක් විය යුතු බව ඔවුන්ගේ අදහස වේ.

අනෙක් අතට, මේ සිදුවන කරුණු අනුව 2023 වර්ෂය මෑත ඉතිහාසයේ වාර්තා වී ඇති උෂ්ණත්වය අධිකතම වූ වර්ෂය වීමට ද කිසියම් අවස්ථාවක් පවතී. විශේෂයෙන් මේ වන විට ඇති වී තිබෙන එල් නිනෝ තත්ත්වය ද උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට ළඟා වීම සඳහා දායක විය හැකිය. මේ අනුව ඉහළ උෂ්ණත්ව සඳහා මිනිසුන්ගේ දායකත්වයෙන් ඇති වූ හරිතාගාර ආචරණය ද, ස්වාභාවික විචල්‍ය්‍යන් ද දායක වී තිබේ.

අනෙක් අතට ඇතිවන තත්ත්වයෙන් සියල්ලෙන් පැහැදිලි වන්නේ දේශගුණය සම්බන්ධව කටයුතු කිරීම කඩිනමින් හා අනිවාර්යයෙන් කළයුත්තක් වන බවයි. බරපතළ දේශගුණ බලපෑම් ඇති විය හැකි උෂ්ණත්වය ලෙස හඳුන්වනු ලබන අංශක සෙල්සියස් 1.5 සීමාව තුළ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සීමා කරගැනීමට නම් ලෝකයේ කැපවීම අත්‍යවශ්‍ය වී ඇත.

Wednesday, July 26, 2023

ගැබිණි මව්වරුන්ගේ රුධිරයේ සදාකාලික රසායන!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 495
විදුසර, 2023-07-26, පි. 2


සදාකාලික රසායනික හෙවත්, per- and polyfluoroalkyl substances (PFAS) කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය ගැබිණි මව්වරුන්ගේ රුධිරයේ තිබී හමුවූ බව ඇමරිකාවේ සිදුකරන ලද පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. අධ්‍යයනයට ලක් කළ ගැබිණි මව්වරුන් 302ක ගෙන් ලබාගත් රුධිර සාම්පල අතරින් 97%ක උක්ත රසායන කාණ්ඩයට අයත් Perfluorooctane sulfonate (PFOS) නම් රසායන ද්‍රව්‍ය තිබී හමු වී තිබේ.

ප්ලාස්ටික් නිෂ්පාදනයේ දී මෙන්ම වෙනත් කර්මාන්ත සඳහා ද ‌යොදාගන්නා රසායන ද්‍රව්‍ය කාණ්ඩයක් වන PFAS යනු මිනිසුන්ට සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි රසායන ද්‍රව්‍යයකි. ඒවා ස්වාභාවිකව විනාශ වීම සිදුනොවන නිසා සදාකාලික රසායන නමින් හැඳින්වේ.

මව්වරුන් තුළ මේ රසායන ද්‍රව්‍ය හමුවීම ඔවුන්ට මෙන්ම මෙන්ම ළදරුවන්ට ද ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව අවදානම පෙන්වන්නකි. සංවර්ධිත රටවල් අතර වැඩිම මව් මරණ ප්‍රමාණයක් වාර්තා වන රට වන ඇමරිකාවේ මව් මරණ ගණන 1999 හා 2019 අතර කාලයේ දී දෙගුණ වී තිබේ. එසේම මේ අධ්‍ය්‍යනයේ දී වෙනත් රසායන ද්‍රව්‍ය ද හමු වී ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමු කර යම් පියවරක් ගැනීම සඳහා කාලය පැමිණ ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.

මෙහි ඇති වැදගත් කරුණක් වන්නේ මේ PFAS කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීමට එහි නිෂ්පාදක සමාගම සමඟ එකඟතාවයක් ඇති කරගෙන ඇතත් ඒවා තවමත් භාවිතයේ පැවතීමයි.

මූලාශ්‍රය - Environmental Health Perspectives, DOI: 10.1289/EHP11546

සබැඳිය - https://ehp.niehs.nih.gov/doi/10.1289/ehp11546

ලෝකයම උණුසුමෙන් පීඩාවට

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 495
විදුසර, 2023-07-26, පි. 2


අපේක්ෂා කළ ආකාරයටම පසුගිය දෙසතියක කාලයේ දී අධික උෂ්ණත්වය නිසා ලෝකයේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව ඇත. යුරෝපය, ඇමරිකාව, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග හා ආසියාව යන ප්‍රදේශවලින් වාර්තා වූ අධික උෂ්ණ ත්ත්ත්ව වාර්තාගත ඒවාය. එසේම ජුලි මාසයේ පස් වැනිදා ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.05 වීම ද වාර්තාවකි.

ඇමරිකාවේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් පසුගිය සතියේ කිසියම් උෂ්ණත්ව අනතුරු හැඟවීමක් ඇති ප්‍රදේශවල වාසය කර තිබේ. ඇතැම් ප්‍රදේශවල අධික උෂ්ණත්වය පිළිබඳ වාර්තා අලුත් වී තිබේ. ඇමරිකාවේ හා චීනයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගියේය.ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ ආන්තික අධික උෂ්ණත්වයක් අඛණ්ඩව පැවැති දින ගණන පිළිබඳ වාර්තාව අලුත් වී තිබේ. ඒ දින 19කි. චීනයේ බීජිං නගරයේ වර්ෂයක් තුළ වාර්තා වූ අධික උෂ්ණත්වයක් පැවති වැඩිම දින ගණන ද මේ වර්ෂයේ දී වාර්තා වී ඇත. ඒ දින 27කි.

පසුගිය ජුනි මාසය යනු බ්‍රිතාන්‍යයේ ජුනි මාසයක මෙතක් පැවැති වැඩිම උෂ්ණත්වය වාර්තා වූ මාසයයි. ඒ වාර්තාව අලුත් වූයේ සෙල්සියස් අංශක 0.9කිනි. එය සාපේක්ෂව විශාල වෙනසකි. යුරෝපයේ දැනට ඇති තාප ප්‍රවාහ තත්ත්වය අගෝස්තු මාසය දක්වා පැවතිය හැකි යැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසා ඇත. දකුණු ය්‍රරෝපයේ රටවල් ගණනාවක අංශක 40කට අධික උෂ්ණත්වයක් වාර්තා වූ අතර, ලැව් ගිනි ද වාර්තා විය. මිනිසුන්ට සිදුවන බලපෑම් මාධ්‍ය මගින් සාකච්ඡා කරනු ලබන නමුත්, මේ ආන්තික උෂ්ණත්වය සෙසු ජීවී විශේෂවලට හා පරිසරයට ද බලපායි.

මෙවැනි අධික ආන්තික උෂ්ණ තත්ත්ව පැවතීම ලෝකයේ නව සාමාන්‍යය වනු ඇති බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබේ. මේ ඉහළ උෂ්ණත්ව අගයයන් දේශගුණ ආකෘතිවලට එකඟ වේ. කෙසේ වෙතත් මේ වර්ෂයේ තත්ත්වය සඳහා මිනිසුන් විසින් ඇති කළ දේශගුණ වෙනස්වීම මෙන්ම, ස්වාභාවික හේතු වන උතුරු අර්ධගෝලයේ පවත්නා ග්‍රීෂ්ම ඍතුව හා වර්ධනය වන එල්නිනෝ තත්ත්වය ද දායක වී තිබේ.

Wednesday, July 12, 2023

සාමාන්‍ය උෂ්ණත්වය පිළිබඳ ලෝක වාර්තාව පිට පිටම අලුත් වේ!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 494
විදුසර, 2023-07-12, පි. 2


ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය පිළිබඳ වාර්තාව පසුගිය සතියේ තුන්වරක් අලුත් වී ඇති බවක් නොනිල වාර්තා අනුව පෙනේ. ජුලි 3වැනි සඳුදා දින සෙල්සියස් අංශක 17.01ක් වූ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය, ජුලි 4 අඟහරුවාදා දින අංශක 17.18ක් වූ අතර, ජුලි 6 දින හෙවත් බ්‍රහස්පතින්දා එම අගය අංශක 17.23ක් විය. මීට පෙර ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වාර්තා තිබුනේ 2016 වර්ෂයේ අගෝස්තු මාසයේය. එය සෙල්සියස් අංශක 16.92ක් පමණ විය.

මේ නව දත්ත වාර්තා කර ඇත්තේ ඇමරිකාවේ පාරිසරික පුරෝකථන පිළිබඳ ජාතික මධ්‍යස්ථාන (NCEP) දත්ත යොදාගනිමින් මේන් විශ්වවිද්‍යාලය මේ උෂ්ණත්ව ප්‍රකාශයට පත් කර ඇත. මෙය නිල නොවන සේ සැලකෙන්නේ ඒ සඳහා වායු බැලූන, චන්ද්‍රිකා නිරීක්ෂණ මෙන්ම පරිගණක ආකෘති ද භාවිත වන බැවිනි.

මේ වන විට එල් නිනෝ තත්ත්වය ඇති වී තිබෙන බව තහවුරු කර ඇති අතර, එම ස්වාභාවික තත්ත්වය සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය උණුසුම් වීම ද මේ වාර්තාගත උෂ්ණත්වය ඇති වීම සඳහා දායක වේ. මේ නිසා ලෝකයේ සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය පිළිබඳ වාර්තා නුදුරු අනාගතයේ දීම බිඳවැටීමට ඉඩ ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. එසේම ඇතැම් විට මේ ජුලි මාසය මෑත අතීතයේ ලෝකයේ ඉහළම උෂ්ණත්වය පැවති මාසය වීමට ද අවස්ථාවක් ඇති බව පෙන්වා දී තිබේ.

ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහත අගයක් ගත්ත ද ඇතැම් ස්ථානවල උෂ්ණත්වය බෙහෙවින් ඉහළ වී තිබේ. එසේම මෑත සති කිහිපයක කාලයේ දී ලෝකයේ ප්‍රදේශ ගණනාවකින්ම තාප ප්‍රවාහ තත්ත්ව වාර්තා වී තිබේ. ජුනි මාසයේ බ්‍රිතාන්‍යයෙන් ද. පසුගිය සති කීපයේ දී ඇමරිකාවේ දකුණු දිග ප්‍රදේශයේ ද තාප ප්‍රවාහ වාර්තා විය.

ෆුකුෂිමාවේ ජලය පිළිබඳ වාර්තාවෙන් විරෝධතා නවතී ද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 494
විදුසර, 2023-07-12, පි. 2


2011 වර්ෂයේ දී අනතුරට පත් ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ එකතු වී ඇති ජලය පරිසරයට නිකුත් කිරීමට අති සැලසුම සම්බන්ධව අන්තර්ජාතික පරමාණු බලශක්ති නියෝජිතායතනය (IAEA) සිදු කළ ඇගැයීම් වාර්තාවක් පසුගිය සතියේ දී නිකුත් විය. එමගින් අදාළ ජලය සාගරයට නිකුත් කිරීම සඳහා ඇති සැලසුම් පිළිබඳව සමාලෝචනය කර ඒ පිළිබඳ සුබවාදී අදහසක් දක්වා ඇත. මේ අනුව මේ ජලයේ විකිරණශීලී ද්‍රව්‍ය අවම කර, සාගර ජලයෙන් තනුක කර, වෙරළේ සිට කිලෝමීටරයක් පමණ ඈතින් සාගරයට නිකුත් කිරීම ආරම්භ කළ හැකිය. එය සෙමින් සිදුවන්නක් වන අතර, ටොන් මිලියන 1.3ක ජල ප්‍රමාණය සාගරයට නිකුත් කිරී සඳහා අවුරුදු 30-40ක් පමණ අතර කාලයක් ගත වනු ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව ආසන්න රටවල දැකිය හැක්කේ මිශ්‍ර ප්‍රතිචාරයකි. චීනය මේ පිළිබඳව දැඩි විරෝධයක් දක්වයි. ජපානයේ ප්‍රදේශ දහයක නිෂ්පාදනය වන ආහාර ආනයනය සඳහා තහනමක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජපානයේ සෙසු ප්‍රදේශවලින් ආනයනය කරනු ලබන ආහාරවල විකිරණ සඳහා පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ. දකුණු කොරියානු රජය උක්ත වාර්තාව පිළිගෙන ඇතත්, එරට වැසියන් අතර මේ සඳහා ඇති විරෝධය සමහන් කිරීමට රජයේ කැමැත්තට හැකියාව ලැබී නැති බවක් පෙනේ. කෙසේ වෙතත් ෆුකුෂිමා ප්‍රදේශයේ නිෂ්පාදිත මුහුදු ආහාර සඳහා දකුණු කොරියාවේ ඇති තහනම ඉවත් නොකරන බව ද වාර්තා වේ.

අදාළ වාර්තාව - https://www.iaea.org/sites/default/files/iaea_comprehensive_alps_report.pdf