Wednesday, July 26, 2023

ලෝකයම උණුසුමෙන් පීඩාවට

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 495
විදුසර, 2023-07-26, පි. 2


අපේක්ෂා කළ ආකාරයටම පසුගිය දෙසතියක කාලයේ දී අධික උෂ්ණත්වය නිසා ලෝකයේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව ඇත. යුරෝපය, ඇමරිකාව, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග හා ආසියාව යන ප්‍රදේශවලින් වාර්තා වූ අධික උෂ්ණ ත්ත්ත්ව වාර්තාගත ඒවාය. එසේම ජුලි මාසයේ පස් වැනිදා ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.05 වීම ද වාර්තාවකි.

ඇමරිකාවේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් පසුගිය සතියේ කිසියම් උෂ්ණත්ව අනතුරු හැඟවීමක් ඇති ප්‍රදේශවල වාසය කර තිබේ. ඇතැම් ප්‍රදේශවල අධික උෂ්ණත්වය පිළිබඳ වාර්තා අලුත් වී තිබේ. ඇමරිකාවේ හා චීනයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගියේය.ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ ආන්තික අධික උෂ්ණත්වයක් අඛණ්ඩව පැවැති දින ගණන පිළිබඳ වාර්තාව අලුත් වී තිබේ. ඒ දින 19කි. චීනයේ බීජිං නගරයේ වර්ෂයක් තුළ වාර්තා වූ අධික උෂ්ණත්වයක් පැවති වැඩිම දින ගණන ද මේ වර්ෂයේ දී වාර්තා වී ඇත. ඒ දින 27කි.

පසුගිය ජුනි මාසය යනු බ්‍රිතාන්‍යයේ ජුනි මාසයක මෙතක් පැවැති වැඩිම උෂ්ණත්වය වාර්තා වූ මාසයයි. ඒ වාර්තාව අලුත් වූයේ සෙල්සියස් අංශක 0.9කිනි. එය සාපේක්ෂව විශාල වෙනසකි. යුරෝපයේ දැනට ඇති තාප ප්‍රවාහ තත්ත්වය අගෝස්තු මාසය දක්වා පැවතිය හැකි යැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසා ඇත. දකුණු ය්‍රරෝපයේ රටවල් ගණනාවක අංශක 40කට අධික උෂ්ණත්වයක් වාර්තා වූ අතර, ලැව් ගිනි ද වාර්තා විය. මිනිසුන්ට සිදුවන බලපෑම් මාධ්‍ය මගින් සාකච්ඡා කරනු ලබන නමුත්, මේ ආන්තික උෂ්ණත්වය සෙසු ජීවී විශේෂවලට හා පරිසරයට ද බලපායි.

මෙවැනි අධික ආන්තික උෂ්ණ තත්ත්ව පැවතීම ලෝකයේ නව සාමාන්‍යය වනු ඇති බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබේ. මේ ඉහළ උෂ්ණත්ව අගයයන් දේශගුණ ආකෘතිවලට එකඟ වේ. කෙසේ වෙතත් මේ වර්ෂයේ තත්ත්වය සඳහා මිනිසුන් විසින් ඇති කළ දේශගුණ වෙනස්වීම මෙන්ම, ස්වාභාවික හේතු වන උතුරු අර්ධගෝලයේ පවත්නා ග්‍රීෂ්ම ඍතුව හා වර්ධනය වන එල්නිනෝ තත්ත්වය ද දායක වී තිබේ.

No comments:

Post a Comment