Showing posts with label Chemical Pollution. Show all posts
Showing posts with label Chemical Pollution. Show all posts

Wednesday, July 26, 2023

ගැබිණි මව්වරුන්ගේ රුධිරයේ සදාකාලික රසායන!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 495
විදුසර, 2023-07-26, පි. 2


සදාකාලික රසායනික හෙවත්, per- and polyfluoroalkyl substances (PFAS) කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය ගැබිණි මව්වරුන්ගේ රුධිරයේ තිබී හමුවූ බව ඇමරිකාවේ සිදුකරන ලද පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. අධ්‍යයනයට ලක් කළ ගැබිණි මව්වරුන් 302ක ගෙන් ලබාගත් රුධිර සාම්පල අතරින් 97%ක උක්ත රසායන කාණ්ඩයට අයත් Perfluorooctane sulfonate (PFOS) නම් රසායන ද්‍රව්‍ය තිබී හමු වී තිබේ.

ප්ලාස්ටික් නිෂ්පාදනයේ දී මෙන්ම වෙනත් කර්මාන්ත සඳහා ද ‌යොදාගන්නා රසායන ද්‍රව්‍ය කාණ්ඩයක් වන PFAS යනු මිනිසුන්ට සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි රසායන ද්‍රව්‍යයකි. ඒවා ස්වාභාවිකව විනාශ වීම සිදුනොවන නිසා සදාකාලික රසායන නමින් හැඳින්වේ.

මව්වරුන් තුළ මේ රසායන ද්‍රව්‍ය හමුවීම ඔවුන්ට මෙන්ම මෙන්ම ළදරුවන්ට ද ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව අවදානම පෙන්වන්නකි. සංවර්ධිත රටවල් අතර වැඩිම මව් මරණ ප්‍රමාණයක් වාර්තා වන රට වන ඇමරිකාවේ මව් මරණ ගණන 1999 හා 2019 අතර කාලයේ දී දෙගුණ වී තිබේ. එසේම මේ අධ්‍ය්‍යනයේ දී වෙනත් රසායන ද්‍රව්‍ය ද හමු වී ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමු කර යම් පියවරක් ගැනීම සඳහා කාලය පැමිණ ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.

මෙහි ඇති වැදගත් කරුණක් වන්නේ මේ PFAS කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීමට එහි නිෂ්පාදක සමාගම සමඟ එකඟතාවයක් ඇති කරගෙන ඇතත් ඒවා තවමත් භාවිතයේ පැවතීමයි.

මූලාශ්‍රය - Environmental Health Perspectives, DOI: 10.1289/EHP11546

සබැඳිය - https://ehp.niehs.nih.gov/doi/10.1289/ehp11546

Wednesday, May 17, 2023

සදාකාලික රසායනවල සමාජයීය පිරිවැය

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 490
විදුසර, 2023-05-17, පි. 2


‘සදාකාලික රසායන‘ (forever chemicals) යනුවෙන් හඳුන්වනු PFAS කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය නිසා ලෝක ආර්ථිකයට වාර්ෂිකව ඇති වන සමාජයීය පිරිවැය ඩොලර් ට‍්‍රිලියන 1.75ක් පමණ බව ගණනය කර තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, මේ රසායන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් එකක වෙළෙපොළ වටිනාකම ඩොලර් 20.75ක් තරම් වුවත්, එක් කිලෝග‍්‍රෑමයක සමාජමය පිරිවැය සමඟ වටිනාකම ඩොලර් 20,456.78ක් තරම් වේ.

ස්වීඩනයේ ක‍්‍රියාත්මක ChemSec නම් රාජ්‍ය නොවන සංවිධානය සකස් කර ඇති මේ වාර්තාව අනුව උක්ත සමාජමය පිරිවැය ගණනය කර ඇත්තේ අදාළ රසායන ද්‍රව්‍ය නිසා ඇතිවන පරිසර දූෂණය වැළැක්වීම හා පිළියම් යෙදීම, සෞඛ්‍යමය වියදම් ආදිය සලකා බැලීමෙනි. ඒ වියදම් කාණ්ඩ හතරකට බෙදා ඇති අතර, වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ මේ රසායනික ද්‍රව්‍ය නිසා දූෂණය වන පස හා ජලය සඳහා ප‍්‍රතිකාර කිරීමටය. එසේම, සෞඛ්‍යමය පිරිවැය තුන්වන තැන ගනියි. මේවායින් ඇතිවන දූෂණය ජෛව නිරීක්ෂණය කිරීම සඳහා වැයවන වියදම සිව්වන තැන ගනී.

PFAS නමින් හඳුන්වන්නේ පර් සහ පොලිෆ්ලූරොඇක්ලයිල් (Per- and polyfluoroalkyl) නම් කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය වේ. මේ රසායන ද්‍රව්‍යවල දැකිය හැකි ලක්ෂණ නිසා ජලය හා තාපයට ඔරොත්තු දෙන භාණ්ඩ නිෂ්පාදනයේ දී යොදා ගැනේ. එවැනි රසායන ද්‍රව්‍ය 15000කට අධික ප‍්‍රමාණයක් භාවිතයේ ඇති අතර, ස්වාභාවිකව හායනයට ලක් නොවන නිසා මේවා සදාකාලික රසායන යනුවෙන් හඳුන්වනු ලැබේ.

මේ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම්වල වාර්ෂික ලාබය ද විශාල නැත. එක් විශාලතම සමාගමකට ලැබෙන ලාබය ඩොලර් බිලියන 5කි. එහෙත් මේවායේ සමාජයීය පිරිවැය දැරීමට සිදුවන්නේ ඒ ඒ රටවල රජයේ බලධාරීන්ටය. මේ රසායන ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ සීමා පැනවීමට යම් යම් පියවර යෝජනා වී ඇත.