Wednesday, July 12, 2023

සාමාන්‍ය උෂ්ණත්වය පිළිබඳ ලෝක වාර්තාව පිට පිටම අලුත් වේ!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 494
විදුසර, 2023-07-12, පි. 2


ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය පිළිබඳ වාර්තාව පසුගිය සතියේ තුන්වරක් අලුත් වී ඇති බවක් නොනිල වාර්තා අනුව පෙනේ. ජුලි 3වැනි සඳුදා දින සෙල්සියස් අංශක 17.01ක් වූ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය, ජුලි 4 අඟහරුවාදා දින අංශක 17.18ක් වූ අතර, ජුලි 6 දින හෙවත් බ්‍රහස්පතින්දා එම අගය අංශක 17.23ක් විය. මීට පෙර ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වාර්තා තිබුනේ 2016 වර්ෂයේ අගෝස්තු මාසයේය. එය සෙල්සියස් අංශක 16.92ක් පමණ විය.

මේ නව දත්ත වාර්තා කර ඇත්තේ ඇමරිකාවේ පාරිසරික පුරෝකථන පිළිබඳ ජාතික මධ්‍යස්ථාන (NCEP) දත්ත යොදාගනිමින් මේන් විශ්වවිද්‍යාලය මේ උෂ්ණත්ව ප්‍රකාශයට පත් කර ඇත. මෙය නිල නොවන සේ සැලකෙන්නේ ඒ සඳහා වායු බැලූන, චන්ද්‍රිකා නිරීක්ෂණ මෙන්ම පරිගණක ආකෘති ද භාවිත වන බැවිනි.

මේ වන විට එල් නිනෝ තත්ත්වය ඇති වී තිබෙන බව තහවුරු කර ඇති අතර, එම ස්වාභාවික තත්ත්වය සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය උණුසුම් වීම ද මේ වාර්තාගත උෂ්ණත්වය ඇති වීම සඳහා දායක වේ. මේ නිසා ලෝකයේ සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය පිළිබඳ වාර්තා නුදුරු අනාගතයේ දීම බිඳවැටීමට ඉඩ ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. එසේම ඇතැම් විට මේ ජුලි මාසය මෑත අතීතයේ ලෝකයේ ඉහළම උෂ්ණත්වය පැවති මාසය වීමට ද අවස්ථාවක් ඇති බව පෙන්වා දී තිබේ.

ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහත අගයක් ගත්ත ද ඇතැම් ස්ථානවල උෂ්ණත්වය බෙහෙවින් ඉහළ වී තිබේ. එසේම මෑත සති කිහිපයක කාලයේ දී ලෝකයේ ප්‍රදේශ ගණනාවකින්ම තාප ප්‍රවාහ තත්ත්ව වාර්තා වී තිබේ. ජුනි මාසයේ බ්‍රිතාන්‍යයෙන් ද. පසුගිය සති කීපයේ දී ඇමරිකාවේ දකුණු දිග ප්‍රදේශයේ ද තාප ප්‍රවාහ වාර්තා විය.

No comments:

Post a Comment