Wednesday, August 23, 2023

ලෝක ජනගහනයෙන් කාලක් ඉතා ඉහළ ජල ආතතියක?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 497
විදුසර, 2023-08-23. පි 2


ලෝකයේ රටවල් විසිපහක වාසය කරන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ පිරිසක් ඉතා ඉහළ ජල ආතතියකට (extremely high water stress) මුහුණ දී ඇති බව හෙළිවී තිබේ. මේ රටවල ඇති ජල සැපයුමෙන් අවම වශයෙන් 80%ක් වාර්ෂිකව භාවිත කරන බැවින් ඒ කාණ්ඩයට ඇතුළත් කර ඇත. එසේම ලෝක ජනගහනයෙන් අඩක් හෙවත් බිලියන 4ක් පමණ ජනගහනයක් අවුරුද්දේ මාසයක් පමණ කාලයක් ඉහළ ජල ආතතියකට (highly water-stress) මුහුණ දී ඇති රටවල වාසය කරයි. එනම් ඒ රටේ ජල ජල සැපයුමෙන් 40%කට අධික ප්‍රමාණයක් භාවිතය සඳහා ලබා ගන්නා රටවල්ය. ලෝක සම්පත් ආයතනය (WRI) සකස් කරන ජල ආතතී සිතියමෙන් මේ කරුණු හෙළි වී තිබේ.

ජලය මෙසේ අධික ලෙස භාවිත වන්නේ විවිධ මානව අවශ්‍යතා නිසාය. ජනගහනය ඉහළ යෑම, කෘෂිකර්මය, කර්මාන්ත ආදි විවිධ අශ්‍යතා සඳහා ජලය භාවිත කරනු ලැබේ. දේශගුණ වෙනස් වීම වර්තමාන ජල අර්බුදය සඳහා දායක වී තිබේ. පුනර්ජනනය වන සම්පතක් වන ජලය සැපයෙන ප්‍රමාණයට වඩා අධිකව ඒ සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම ජල ආතතියට හේතුවයි.

මේ සමඟ දක්වා ඇති ආකරයට ලෝකයේ ජලය සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවත්නා අතර 1960 සිට මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එසේම 2050 වර්ෂය වන විට ලෝකයේ ජල ඉල්ලුම 20%ත් 25%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. මේ තත්ත්වය ලෝකයේ විවිධ ප්‍රදේශවලට බලපා ඇති ආකාරය වෙනස්ය. යුරෝපයේ හා ඇමරිකාවේ ජල ඉල්ලුම ස්ථාවර වී ඇතත්, අප්‍රිකා මහාද්වීපයේ රටවල එය ඉහළ යමින් තිබේ. එසේම වැඩිම ජල ආතතියක් පවතින්නේ මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේය.
මූලාශ්‍රය - WRI’s Aqueduct Water Risk Atlas, www.wri.org/aqueduct

No comments:

Post a Comment