Wednesday, August 23, 2023

හිම අඩු වී වැසි වැඩි වීම

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 497
විදුසර, 2023-08-23, පි. 2


උතුරු අර්ධගෝලයේ අතීතයේ හිම පතිත වූ කඳුකර ප්‍රදේශවල මේ වන විට හිම පතනය අඩු වී වර්ෂාව ඉහළ ගොස් ඇති වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මේ සඳහා දේශගුණ වෙනස් වීමේ බලපෑමක් ඇති අතර, උෂ්ණත්වය ඉහළ යන එක් සෙල්සියස් අංශකයක් සඳහා ආන්තික වර්ෂාපතනය 15%කින් ඉහළ යන බව එහි දක්වා ඇත. මෙය වායුගෝලයේ ජලවාෂ්ප ඉහළ ගොස් ඇති ප්‍රමාණය නිසා අපේක්ෂිත වර්ෂාපතන ඉහළ යෑඹට මෙන් දෙගුණයක් පමණ වේ.

මේ නිරීක්ෂණය 2019 වර්ෂයේ දී දේශගුණ වෙනස්වීම පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) මගින් පළ කළ විශේෂ වාර්තාවකින් පෙන්වා දුන් කරුණු හා සමගාමී වේ. එහි දක්වා තිබූ පරිදි කඳුකර කලාපවල පහළ මට්ටම්වල හිම පතනය වීම අඩු වී ඇති අතර, ඒ සඳහා අඩු වශයෙන් යම් පමණකට බලපා ඇත්තේ ඉහළ ගොස් ඇති උෂ්ණත්වයයි.

මේ අධික වර්ෂා තත්ත්වය නිසා ඇතැම් කඳුකර ප්‍රදේශවල වඩා බරපතළ විය හැකිය. නිදසුනක් ලෙස ඉන්දියාව හා තවත් රටවල් කීපයකට යාව පිහිටන හිමාලය කඳුවැටිය ආශ්‍රිතව ලෝකයේ වෙනත් එවැනි කලාපවලට වඩා වැඩි අවදානමක් ඇති බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. ඒ අධික ආන්තික වැසි සමඟ නාය යෑම්, ගංවතුර, මෙන්ම වර්ෂාව නිසා ඇති වන ජල ප්‍රවාහ මේ අවදානම ඇති වීමට හේතුවේ. උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින් ඉහළ යන හිම දියවීම ද මේ තත්ත්වය වඩාත් බරපතළ කළ හැකිය. මේ තත්ත්වය වැළැක්වීම සඳහා දැඩි අනුහුරුවීමේ සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව උක්ත අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-023-06092-7

සබැඳිය - https://www.nature.com/articles/s41586-023-06092-7



No comments:

Post a Comment