Wednesday, October 4, 2023

ප්ලාස්ටික් භාණ්ඩ ගණනාවක් එංගලන්තයේත් තහනම්

ජගත් පරිසර පුවත් 500

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-10-04, පි. 2

එක් වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ ගණනාවක් භාවිත කිරීම තහනම් කිරීම මේ මාසයේ පළමුවැනිදා සිට එංගලන්තයේ ක්‍රියාත්මක වේ. ඒ අනුව, ප්ලාස්ටික් හැදි ගෑරුප්පු, පොලිස්ටයිරින් කෝප්ප හා ආහාර බඳුන් සහ බැලූන් රඳවන ආදිය භාවිතය මෙසේ තහනම් විය. 2022 වර්ෂයේ දී මේ ආකාරයටම වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් බීම බට, කලතන හා කොට්න් බඩ් තහනම් කරන ලදි.

මේ වන විට බරපතළ ගැටලුවක් වී තිබෙන ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීමේ වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වේ. පොදුවේ ගත් විට මෙවැනි ප්ලාස්ටික් භාණ්ඩභාවිතය තහනම් කිරීම සඳහා එංගලන්තයේ ජනතාවගේ පුළුල් සහයෝගයක් ඇති බව ජනමත සමීක්ෂණවලින් ද පෙනී ගොස් ඇත.  කෙසේ වෙතත් මේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව අදාළ ආයතන හා සමාගම් අතර ඇති අවබෝධය ප්‍රමාණවත් ද යන්න පිළිබඳව පසුගිය සතියේ එරට ඇතැම් මාධ්‍ය සැක මතුකර තිබිණි.

මේ නව නීතිය මගින් එවැනි ඇතැම් ද්‍රව්‍ය ආවරණය නොවේ. නිදසුනක් ලෙස ආහාර බැහැර ගෙන යන අලෙවිසැල්වලින් නිකුත් කරන ආහාර බදුන්, බන්දේසි හා ආවරණ ඇසුරුම් හා කලින් සකසා ඇති ආහාර ඇසුරුම් බඳුන් සඳහා මේ තහනම ක්‍රියාත්මක නොවේ. ඒවා ඇසුරුම් ලෙස කාණ්ඩගත කිරීම නිසා වෙනස් නීති යටතේ පාලනය වීම මේ සඳහා හේතුවකි. එහෙත් පරිසර අංශ පවසන්නේ මේ තහනම වඩාත් ඵලදායී වීමට නම් එවැනි සියලු අංශ ආවරණය විය යුතු බවකි. මේ පිළිබඳව එරට රජයේ බලධාරීන් පවසා ඇත්තේ 2042 වර්ෂය වන විට වැළැක්විය හැකි සියලු ප්ලාස්ටික් අපද්‍රව්‍ය තහනම් කිරීම සඳහා දීර්ඝ කාලීන ක්‍රියාවලියක් සිදුකරනු ලබන බවයි.

No comments:

Post a Comment