Tuesday, November 29, 2022

ඊජිප්තු දේශගුණ සමුළුවේ දී මොකද වුනේ?

ධනේෂ් විසුම්පෙරුම

30.11.2022

විදුසර, 30.11.2022, පි. 2 හා 16 (Vidusara)
ජගත් පරිසර පුවත් 478


නියමිත කාලයට වඩා අතිරේකව පැය තිස්හයකටත් වඩා කාලයක් තිස්සේ දිග්ගැසුනු ඊජිප්තුවේ ශාම් එල් ෂේක් නගරයේ දී පැවැති දේශගුණ සමුළුව හෙවත් දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුව (COP 27) පසුගිය 20 දා පෙරවරුවේ අවසන් විය. මේ සමුළුවේ දී ඇති වූ වැදගත් ප්‍රධාන පියවර පිළිබඳව මෙසේ සැකෙවින් දැක්විය හැකිය (සමුළුව අවසන නිකුත් වූ ශාම් එල්-ෂෙයික් ක්‍රියාකාරී සැලැස්ම සඳහා සබැඳිය ලිපිය පහළින් දැක්වේ).


අලාභ සහ හානි සඳහා වූ අරමුදලක්


දේශගුණ වෙනස් වීම නිසා සිදුවන විවිධ ආපදා ඇතුළත් අලාභ සහ හානි සඳහා මූල්‍ය සහාය ලබා දීමට ජගත් මට්ටමේ අරමුදලක් පිහිටුවීමට එකඟ වීම මෙවර සමුළුවේ දී සිදු වූ වැදගත්ම සිදුවීමයි. මෙය ගංවතුර, නියඟය, කුණාටු වැනි දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ආපදාවලින් බැට කෑ දියුණුවන රටවල් දිගු කලක් තිස්සේ (1992 වර්ෂයේ දී UNFCCC දේශගුණ සම්මුතිය ඇතිකරගත් දා පටන්ම වාගේ) ඉල්ලා සිටි දෙයකි. මෙය අවශ්‍ය වන්නේ එවැනි ආපදාවලින් හානියට පත්වන යටිතල පහසුකම් ගොඩනැංවීම සඳහාය.

හරිතාගාර වායු විමෝචන අඩුකිරීම හා අනුහුරු වීම සඳහා වූ පියවර සඳහා අරමුදල් සපයන ලද නමුත්, දේශගුණ අලාභ සහ හානි සඳහා වූ වෙනම අරමුදලක් මෙතෙක් පැවතියේ නැත. එවැනි අරමුදලක් ඇති කිරීමට දියුණු රටවල් එකඟ නොවූ අතර, මේ සමුළුව මුල දී ඒ විරෝධය පැවතියත්, අවසාන දෙදින තුළ යුරෝපා සංගමය හා ඇමරිකාව මේ සඳහා එකඟ විය. ඒ අවදානම් ඇති රටවලට ප්‍රමුඛතාවය ලබා දීමට හා තවමත් දියුණුවන රටවල් ලෙස සැලකෙන ඇතැම් රටවල් ද මේ අරමුදලට ස්වේච්ඡාවෙන් ආධාර ලබා දීමට එකඟවිය යුතුය යන කරුණත් සමඟය. ඉන් අදහස් කරන ලද්දේ ඉහළ විමෝචන ප්‍රමාණයක් නිකුත් කරන විශාල ආර්ථිකයක් ඇති දියුණුවන රටවල්ය. මීට චීනය, සවුදි අරාබිය, කටාර්, කුවේට්, රැසියාව වැනි රටවල් මීට අයත්ය. මේ ගැන සමුළුවේ දී අදහස් දැක්වූ චීන නියෝජිතයෙකු සඳහන් කළේ තමන් ද කාලගුණ ආපදාවලින් පීඩාවට පත්වන රටක් බවයි. ඉන්දියාව තමන් මේ සඳහා දායක නොවන බව ද පවසා ඇත්තේ තමන් ද අලාභ සහ හානි සඳහා ආධාර ලැබිය යුතු රටක් බව පවසමිනි. කෙසේ වෙතත් පසුව අදහස් දක්වන බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වූ ගෝර්ඩන් බ්‍රවුන් පවසා තිබූනේ යුරෝපය හා ඇමරිකාව මෙම අරමුදලට වැඩි වශයෙන් දායක වන නමුත් චීනය ද මෙම අරමුදලට දායක විය යුතු බවයි.

මේ අරමුදල පිහිටුවන ආකාරය ගැන හෝ එයට අරමුදල් සැපයෙන ආකාරය හෝ අරමුදල් ලබා දෙන නිර්ණායක ආදිය ගැන නිශ්චිත පිළිවෙලක්, එකඟතාවයක් තවමත් සැකසී නැත. එසේම ඒ ඒ රටවල සිදුවන අලාභ සහ හානි සඳහා මේ සැපයෙන මුදල් ප්‍රමාණවත් වනු ඇති ද යන්න ද අපැහැදිලිය. එහෙත් මෙය වැදගත් කරුණක් වන්නේ දේශගුණ සාධාරණත්වය හා සම්බන්ධව මෙය ඉතා වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක් වන බැවිනි. එය මුදල් හෝ වන්දිවලටත් වඩා සහයෝගීතාවය පිළිබඳ පිළිගැනීමකි. බොහෝ දියුණුවන රටවල් ඇතුළු පාර්ශ්ව රැසක් මෙය පැරිස් ගිවිසුමට පසුව දේශගුණ සටනේ ඇති වූ වැදගත්ම ඉදිරි පියවර ලෙස සලකන ලද්දේ එබැවිනි.


උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම


ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම, පූර්ව කාර්මික අවධියේ දී ලෝකයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5ක් ඉක්මවීමට නොදී පවත්වා ගැනීම පැරිස් දේශගුණ ගිවිසුමේ එක් ඉලක්කයකි. එහෙත් මේ වන විට පෙන්වා දී ඇති පරිදි මේ අගය ඉක්මවීම මීලඟ වර්ෂ පහ තුළ සිදුවීඹට සියයට 50ක අවස්ථාවක් පවතී. එසේම ඒ අගය ස්ථිර ලෙස ඉක්මවීම 2031 වන විට සිදු වීමට ද අවස්ථාවක් පවතී.

මේ අංශක 1.5 සීමාවේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ ඉලක්කය සඳහා කැපවන බව මේ සමුළුවේ දී යළිත් තහවුරු කරන ලද නමුත් ඒ සඳහා ගන්නා අතිරේක පියවරක් පිළිබඳව සඳහන් නොවේ. මේ සඳහා අවශ්‍ය එක් පියවරක් ලෙස සඳහන් වූ ලෝකයේ හරිතාගාර වායු විමෝචන උපරිම අගයට ළඟා වීම 2025 වර්ෂයේ දී හෝ ඊට පෙර සිදු කිරීමට ගෙන ආ යෝජනාවට එකඟතාවයක් පළ නොවීය. ලොක්යේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ට සීමා කිරීමේ දී විමෝචන ප්‍රමාණය උපරිමයට පැමිණ අඩු කිරීම කඩිනමින් සිදු කිරීම විද්‍යාත්මක දත්ත අනුව ඉතා වැදගත්ය. මේ පිළිබඳව දියුණු රටවල් මෙන්ම දියුණුවන රටවල් අතරින් දූපත් රාජ්‍යවල වැඩි උනන්දුවක් පැවති නමුත් සමුළුවේ දී ඒ පිළිබඳ වැදගත් වන තීරණයක් නොගැනීම කණගාටුවට කරුණකි.

මේ සඳහා හේතු වූ එක් කරුණක් වන්නේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීමට අවශ්‍ය පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම සම්බන්ධව ඇති වූ තත්ත්වයයි.


පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම


පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම පිළිබඳව මේ සමුළුවේ දී වැදගත් ඉදිරි පියවරක් ගැනීමට නොහැකි විය. සමස්තයක් ලෙස සියලු පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම පිළිබඳ තිබූ අදහස ඉදිරියට ගෙන යෑමට අපහසු වූ අතර, ගල්අඟුරු භාවිතය අඩු කිරීම

පමණක් සඳහන් වේ. එය බොහෝ දුරට 2021 වර්ෂයේ ග්ලාස්ගෝ සමුළුවේ දී ඇති වූ පොරොන්දුව හා සමානය. මේ සම්පත් ඇති ඇතැම් දියුණුවන රටවල් ද මේ සීමා කිරීම් සඳහා එකඟ නොවූ බව පෙනේ.

එසේම මේ සමුළුවේ දී එකඟ වූ ක්‍රියාකාරී සැලැස්මේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා “අඩු විමෝචන හා පුනර්ජනනය කළ හැකි බලශක්තිය” (low emission and renewable energy) ද ඇතුළුව පියවර ගන්නා බව සඳහන්ය. ගල්අඟුරු වැනි පොසිල ඉන්ධනවලට වඩා විමෝචන අඩු ගෑස් භාවිතය සඳහා මේ මගින් අවස්ථාවක් ලැබේ. ගෑස් යනු ද හරිතාගාර වායු විමෝචනය කරන ඉන්ධනයක් බැවින් මෙය යම් හිදැසක් ලෙස නිරීක්ෂකයන් විසින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ සමුළුවේ දී ඇති කරගත් වෙනත් වර්ධනය තුළ ඉදිරි සමුළුවල දී පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම පිළිබඳ වඩාත් සාර්ථක පියවරක් ගත හැකි වනු ඇතැයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දී ඇත.

ශාම් එල්-ෂෙයික් ක්‍රියාකාරී සැලැස්ම (Sharm el-Sheikh Implementation Plan) - https://unfccc.int/documents/624444

Wednesday, August 3, 2022

බ්‍රිතාන්‍යයේ මුහුදු මට්ටම ඉහළ යාම වේගවත්

ධනේෂ් විසුම්පෙරුම

04.08.2022
ජගත් පරිසර පුවත් (බ්ලොග් අඩවියේ පමණක් පළ වී ඇත)

බ්‍රිතාන්‍යයේ  මුහුදු මට්ටම ඉහළ යන වේගය මීට ශතවර්ෂයකට පෙර පැවති වේගයට වඩා අධික බව එරට කාලගුණ කාර්යාලය (Met Office) සිය වාර්ෂික වාර්තාවේ පෙන්වා දෙයි. 1900 වර්ෂයේ සිට මේ දක්වා ගතවී ඇති කාලයේ දී එරට සාමාන්‍යයෙන් මුහුදු මට්ටම සෙන්ටිමීටර් 16.5කින්  පමණ ඉහළ ගොස් ඇත. එහෙත්  මුහුදු මට්ටම ඉහළ යන වේගය ඉහළ යමින් පවතියි. මේ වන විට ඒ වේගය වර්ෂයකට මිලිමීටර් 3 හා 5.2 අතර ප්‍රමාණයක පවතී. ඒ වේගය මීට සියවසකට පෙර පැවති වේගය මෙන් දෙගුණයක් පමණ වේ.

එමෙන්ම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන වේගය හා සංසන්දනය කරන විට එරට උෂ්ණත්වය ඉහළ යෑමේ වේගය ද මදක් ඉහළය. ‌මේ වාර්තාවේ පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ඉහළ උෂ්ණත්වයක් පැවතීම බ්‍රිතාන්‍යයේ නව සාමාන්‍යය (new normal) වනු ඇති බවයි.

එරට වසන්ත ඍතුව වෙනදාට වඩා කලින් ඇතිවන නමුත් ශාක මෙන්ම සතුන්ද ඒ තත්ත්වයට අවශ්‍ය ප්‍රමාණයට හැඩ ගැසී නැති බව ද වාර්තාවේ සඳහන්ය. දේශගුණ වෙනස්වීම සිදුන වේගයට ප්‍රමාණවත් තරම් වේගයකින්  ජීවී විශේෂ අනුහුරුනොවීම මීට හේතුවයි.

මූලාශ්‍රය: The State of the UK Climate 2021 report, DOI: 10.1002/joc.7787 
සබැඳිය: https://rmets.onlinelibrary.wiley.com/doi/10.1002/joc.7787

Tuesday, August 2, 2022

නේපාලයේ ව්‍යාඝ්‍ර ගහනය ඉහළට - පහරදීම් ද ඉහළට

ධනේෂ් විසුම්පෙරුම

02.08.2022
ජගත් පරිසර පුවත් (බ්ලොග් අඩවියේ පමණක් ඇති පුවතකි)


වසර දොළහක කාලය තුළ නේපාලයේ ජීවත්වන බෙංගාල ව්‍යාඝ්‍ර ගහනය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට අගමැති වරයා ප්‍රකාශ කර තිබේ. 2010 වර්ෂයේ දී 121ක් පමණ වූ එරට ව්‍යාඝ්‍ර ගහනය මේ වන විට 355ක් දක්වා ඉහළ ගොස් ති‌බේ. මේ සඳහා මූලික වශයෙන් දායක වී ඇත්තේ දඩයම් කිරීම පාලනය, ජාතික උද්‍යාන ජාජාලය ව්‍යාප්ත කිරීම හා නේපාලය හා ඉන්දියාව අතර වන මංපෙත් ඇති කිරීමයි.

කෙසේ වෙතත් මේ හා සමග මිනිසුන්ට එල්ලවන ප්‍රහාර ඉහළ ගොස් තිබීම අවධානයට ලක් විය යුතු කරුණකි. මේ ව්‍යාඝ්‍ර-මිනිස් ගැටුම ඉහළ යෑම වැළැක්වීම මේ සතුන්ගේ සංරක්ෂණය සඳහා අවශ්‍යය.

ලෝකයේ ව්‍යාඝ්‍රයන් සිටින රටවල් හමු වී 2010 වර්ෂයේ පැවති සමුළුවක දී 2022 වන විට ලෝකයේ ව්‍යාඝ්‍ර ගහනය දෙගුණයන් කිරීමට ප්‍රතිඥා දෙන ලදි. මේ රටවල් මීළඟ රැස්වීම ලබන සැප්තැම්බර් මාසමේ දී පැවැත්වීමට නියමිතය.

Sunday, March 7, 2021

පැරිස් ගිවිසුමේ ඉලක්ක තව බොහෝ දුරය

ජගත් පරිසර පුවත් 400 - 03.03.2021


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.03.2021, පි. 3 (Vidusara)


තම රටවල හරිතාගාර වායු විමෝචනය සීමා කිරීම පිළිබඳව ලෝකයේ රටවල් මේ දක්වා ප්‍රකාශයට පත් කර ඇති කැපවීම් හෙවත් ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වයන් (NDC) ඒ අයුරින්ම ඉටු කරනු ලැබුව ද, දේශගුණ වෙනස් වීම පිළිබඳ පැරිස් ගිවිසුමේ ඉලක්ක අත්පත් කරගැනීම සඳහා ඒවා ප්‍රමාණවත් නොවන බව පසුගිය සතියේ නිකුත් වූ ඇගැයීම් වාර්තාවක් මගින් තහවුරු කර ඇත. කලක් තිස්සේ විද්‍යාඥයන් විසින් මේ බව පෙන්වා දී තිබූ අතර, මේ එක්සත් ජාතීන්ගේ දේශගුණ වෙනස් වීම පිළිබඳ වැඩසටහන (UNFCCC) මගින් මේ පිළිබඳව කළ පළමු ඇගැයීමේ ප්‍රතිඵලය මේ වාර්තාවෙන් දැක්වෙයි.

ඒ අනුව, සිය හරිතාගාර විමෝචන අඩු කිරීම පිළිබඳව විවිධ රටවල් මේ දක්වා ලබා දී ඇති පොරොන්දු සියල්ල ඉටු කරනු ලැබුව ද, 2030 වර්ෂය වන විට එමගින් සිදුවිය හැකි සමස්ත විමෝචන අඩු වීම, 2010 වර්ෂයේ පැවති විමෝචනවලට වඩා 0.5%ක් පමණ සුළු ප්‍රමාණයකි. 1990 දී පැවති විමෝචන ප්‍රමාණයට වඩා 0.7%ක අඩුවීමකි. වෙනත් වචනවලින් පවසන්නේ නම් 2030 වන විට විමෝචන ප්‍රමාණය ස්ථාවර මට්ටමකට ළඟා වෙයි.

එහෙත් පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත පරිදි ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීමට නම්, 2030 වන විට ලෝකයේ හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මීට වඩා විශාල ලෙස අඩු කළ යුතුය. දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) පෙන්වා දෙන පරිදි, ඒ සඳහා 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, 2010 දී මට්ටමට වඩා 45%ක් පමණවත් අඩු විය යුතුය. එනම්, 2030 වන විට 2010 වර්ෂයේ පැවති විමෝචන මට්ටමෙන් අඩක් පමණ දක්වා විමෝචන අඩු කළ යුතුය. එසේම 2050 වන විට ශුද්ධ විමෝචන ප්‍රමාණය ශුන්‍ය මට්ටමට ළඟා විය යුතුය.


ඒ ඒ රටවල දායකත්වය


මේ වාර්තාව සඳහා සලකා බලා ඇත්තේ 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 දා දක්වා ගිවිසුමේ පාර්ශ්ව විසින් බාර දී ඇති දායකත්වයන්ය. ඊට ගිවිසුමේ පාර්ශ්ව 197න් 75කින් බාර දී ඇති නව හෝ යාවත්කාලීන කරන ලද දායකත්වයන් ඇතුළත්ය. මේ පාර්ශ්වකරුවන් විසින් නිකුත් කරනු ලබන්නේ ගෝලීය හරිතාගාර වායු විමෝචන අතරින් 30%ක් පමණ ප්‍රමාණයකි. මේ රටවල් අතරින් වැඩි ප්‍රමාණයක් හරිතාගාර වායු විමෝචන කපා හැරීම සම්බන්ධ තම ඉලක්ක ඉහළ දමා ඇතත්, මේ රටවල විමෝචන අඩු වනු ඇත්තේ අඩු ප්‍රමාණයකිනි.

එමෙන්ම ගිවිසුමට අත්සන් තබා ඇති ඇතැම් රටවල් සිය දේශගුණ දායකත්වයන් හා සැලසුම් දක්වා ලබා දී නොමැත. මේ අතර ලෝකයේ ප්‍රධානතම විමෝචකයන් ද වෙයි. එමෙන්ම ඉදිරිපත් කර ඇති සිය යාවත්කාලීන කළ සැලසුම් මගින් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා සැලකිය යුතු වර්ධනයක් දක්වා නොමැති රටවල් ද වෙයි.

එසේම සමහර සිය කැපවීම කැපී පෙනෙන ලෙස වර්ධනය කරගත් බව ද මේ වාර්තාව අනුව පෙනෙයි. නිදසුනක් ලෙස යුරෝපා සංගමයේ රටවල විමෝචන ප්‍රමාණය 1990 වර්ෂයේ පැවති මට්ටමට වඩා 2030 වන විට 55%කින් අඩු කරන බව පොරොන්දු වී ඇත. එම අගය මෑත දී 40% සිට 55% දක්වා ඉහළ නංවා තිබීම වැදගත් කරුණකි. ඊටත් වඩා ඉහළ හරිතාගාර වායු සීමා කිරීමේ ඉලක්ක අනුගමනය කරන රටවල් ද වෙයි. නිදසුනක් ලෙස ගතහොත් ආජන්ටිනාව, නේපාලය හා එක්සත් රාජධානිය යන රටවල්, 1990 දී පැවැති මට්ටමට වඩා සිය විමෝචන 2030 වන විට 68%කින් පමණ අඩු කිරීමට සූදානම්ය.


අනාගත අභියෝගය


කෙසේ වෙතත් ලෝකයේ රටවල් පවසා ඇති විමෝචන අඩුකිරීමේ සැලසුම් හා අවශ්‍ය කරන සැලසුම් අතර හිදැසක් පවතී. එමෙන්ම ඒ සඳහා රටවල් දී ඇති පොරොන්දු හා ඒවා අත්පත් කරගැනීම සඳහා ප්‍රකාශිත ප්‍රතිපත්ති අතර ද හිදැසක් පවතී. යම් ප්‍රගතියක් යන ඇති වී ඇතත් ඒ බොහෝ සෙමින් සිදුවන්නක් බව පෙකෙයි.

පවත්නා තත්ත්වය අනුව ලෝකය උණුසුම් වීම සෙල්සියස් අංශක 1.5 සීමාව තුළ පවත්වා ගැනීමට නම් අදට වඩා බොහෝ දේ කළ යුතු බව මේ වාර්තාවෙන් පැහැදිලිය. ලෝකයේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම පිළිබඳ අපේක්ෂාව බෙහෙවින් ඉහළ දැමිය යුතු මෙන්ම එය කඩිනමින් කළ යුත්තක් වන බව ද පැහැදිලිය. මේ අභියෝගය ජයගත නොහැකි වුවහොත්, සෙල්සියස් අංශක 1.5කට වඩා අධික උෂ්ණත්ව ඉහළ යෑමක් අපේක්ෂා කළ යුතු වෙයි. එය බරපතළ දේශගුණ වෙනස් වීමේ බරපතළ ප්‍රතිවිපාක අපේක්ෂා කළ යුතු තත්ත්වයකි.

එබැවින් මේ තත්ත්වය ලෝකයට රතු එළියක් දල්වා කළ අනතුරු හැඟවීමක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටෙරේස් පවසා ඇත.


Nationally determined contributions under the Paris Agreement, Synthesis report by the secretariat: https://unfccc.int/documents/268571

Monday, August 31, 2020

2020 දී සම්පත් භාවිතයේ කැපීපෙනෙන අඩුවීමක්

ජගත් පරිසර පුවත් 374 - 26.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.08.2020, පි. 3 (Vidusara)



මේ වර්ෂයේ ගත වූ කාලය ඇතුළත මිනිසුන් විසින් පරිසරයේ ඇති සම්පත් භාවිත කර තිබෙන ප්‍රමාණය 2019 වර්ෂයේදී ඒ හා සමාන කාලයට වඩා 9.3%ක් පමණ ප්‍රමාණයකින් අඩු වී ඇත. මෙසේ මිනිසුන්ගේ ‘පාරිසරික පියසටහන’ අඩු වීම සඳහා බලපා ඇති හේතුව වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය නිසා ඇති වූ සීමා කිරීම් නිසා ඇති වූ තත්ත්වයයි.

මිනිසුන් සම්පත් පරි‌භෝජනය කරන ප්‍රමාණයේ කැපී පෙනෙන අඩුවීමක් ඇති වීම නිසා පාරිසරික ණය දිනය (Ecological Debt Day) හෙවත් මිහිතලය අභිබවන දිනය (Earth Overshoot Day) මේ වර්ෂයේදී අගෝස්තු 22 වන දිනට යෙදී ඇත. පසුගිය වර්ෂයේ දී එය ජුලි 22 වැනිදාට යෙදී තිබිණි. මේ වර්ෂයේදී එය සති තුනකින් පමණ ආපස්සට ගොස් තිබීම වැදගත් කරුණකි. 1970 ගණන්වල මේ දිනය ගණනය කිරීම ආරම්භ කළ පසුව එක් වර්ෂයකදී සිදු වූ විශාලතම වෙනස වන්නේ ද මෙයයි. පොදුවේ ගත් විට ඇතැම් වර්ෂවල විටින් විට ආපසු යෑම් දැකිය හැකි වුවත් සාමාන්‍යයෙන් දිනය ඉදිරියට පැමිණ ඇත. එසේම මීට පෙර දැකිය හැකි වූ ආපසු යෑම්වල දී මෙවැනි විශාල වෙනසක් සිදු වී නැත.

කෙසේ වෙතත්, 2020 ප්‍රමාණයෙන් සම්පත් පරිභෝජනය කළ ද, මිනිසුන්ට තම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා පෘථිවිය බඳු ලෝක 1.6ක් පමණ අවශ්‍යය.

ඉහළම උෂ්ණත්වය ඇමරිකාවෙන්

ජගත් පරිසර පුවත් 374 - 26.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.08.2020, පි. 3 (Vidusara)



ලෝකයේ විශ්වසනීය උෂ්ණත්ව වාර්තා ලබාගැනීම ආරම්භ වූ පසුව වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයෙන් පසුගිය 16 වැනි දින වාර්තා වී තිබේ. සෙල්සියස් අංශක 54.4ක් වන මෙම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ඩෙත් වැලි ජාතික උද්‍යානයේ පිහිටා ඇති ස්ථානයකිනි. මේ වන විට එම වාර්තාව නිශ්චය කරගැනීම සඳහා එරට ජාතික කාලගුණ සේවය පියවර ගෙන තිබේ. මේ කාලයේදී එරට බටහිර වෙරළ ප්‍රදේශයේ තාප ප්‍රවාහයක් ද ඇති වී තිබෙයි.

2013 වර්ෂයේදී මේ ජාතික උද්‍යානයෙන්ම සෙල්සියස් අංශක 54ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත. මීටත් වඩා අධික උෂ්ණත්වයක් වසර සියයකට පමණ පෙර මේ ප්‍රදේශයෙන් හා පසුව ටියුනීසියාවේ ස්ථානයකින් ද වාර්තා වී ඇතත් එම වාර්තා කෙතරම් විශ්වසනීයද යන්න සැක සහිතය.

වේලී බැන්ද නිසා මුහුදු මට්ටම ඉහළ යෑම අඩුවෙලා!

ජගත් පරිසර පුවත් 374 - 26.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.08.2020, පි. 3 (Vidusara)



විශාල පරිමාණයේ වේලි තැනීම මුහුදු මට්ටම ඉහළ යෑම සීමා කිරීමට හේතු වී ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙයි. එහිදී හෙළි වි ඇති පරිදි, මේ ජලාශවලින් මුහුදට එකතුවන ජල ප්‍රමාණයක් නැවැත්වීම නිසා 1970 දශකයේදී මුහුදු මට්ටම ඉහළ යෑම නැවැතීමට තරම් අඩු වී ඇත. එම ජලාශ නොතිබුණේ නම්, වාර්ෂික මුහුදු මට්ටම ඉහළ යෑම 12%කින් පමණ ඉහළ යෑමට ඉඩ තිබූ බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙයි.

පසුගිය ශතවර්ෂය ඇතුළත මුහුදු මට්ටම ඉහළ නැග ඇති ආකාරය අධ්‍යයනයේදී විද්‍යාඥයන් දුටු එක් කරුණක් වූයේ මුහුදට එක් වූ ජල ප්‍රමාණය හා මුහුදු මට්ටම ඉහළ නැගි ප්‍රමාණය අතර යම් නොගැලපීමක් තිබීමයි. මේ පිළිබඳ දත්ත පදනම් කරගත් මේ අධ්‍යයනය මගින් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වේලි හා ජලාශ වැනි ජලය ගබඩා කරන ව්‍යුහවලින් මුහුදු මට්ටම ඉහළ යෑම අඩුකිරීමට සැලකිය යුතු බලපෑමක් වී ඇති බවයි.

අද වන විට ලෝකය පුරා විශාල වේලි 58,000ක් පමණ ප්‍රමාණයක් ඇත. ඒවා ඉදි කර ඇත්තේ පසුගිය වසර 60ක පමණ කාලය ඇතුළතය. 1950 පමණ සිට 1970 දශකය අවසානය දක්වා කාලයේදී ලෝකයේ මහා පරිමාණ ජලාශ ඉදිකිරීම වේගවත්ව විය. මුහුදට ජලය එක්වීම වැළැක්වීම සඳහා මේ ජලාශවලින් ඇති වූ උපරිම බලපෑම ඇති වී තිබෙන්නේ 1970 ගණන්වලදීය. මේ නිසා ලෝකයේ මුහුදු මට්ටම ඉහළ යෑම දශකයක පමණ කාලයක් බොහෝ දුරට නැවතී තිබූ බව විද්‍යාඥයින්ගේ අදහස වේ. 1900 සිට 2018 දක්වාවූ කාලයේදී මුහුදු මට්ටම වර්ෂයකට මිලිමීටර් 1.56ක් පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ජලාශ හා වේලි නොතිබුනේ නම් එම මුහුදු මට්ටම තවත් 12%ක් පමණ ඉහළ යා හැකිව තිබිණි.

එහෙත් 1990 දශකයේදී වේලි නිසා ඇති වූ මේ බලපෑම අඩු වීමට පටන් ගත්තේය. වේලිවලින් ඇති වන පාරිසරික බලපෑම හෙළි වීමත් සමඟ, විශාල වේලි ව්‍යාපෘති ඉදිකිරීම අඩු වීම ඊට එක් හේතුවකි. එසේම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා ග්ලාසිරයර දියවීම වේගවත් වීම හා ජලයේ තාප ප්‍රසාරණය ඉහළ යෑම සිදුවිය. ඒ නිසා මුහුදු මට්ටම ඉහළ යෑම වේගවත් විය. අද වන විට මුහුදු මට්ටම ඉහළ යෑම වර්ෂයකට මිලිමීටර් 3.35ක පමණ වේගයකින් සිදු වෙයි.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-020-2591-3