Wednesday, January 10, 2024

වනාන්තර වනසන පරිභෝජන රටාවෙන් අංක එක බ්‍රිතාන්‍යයට!

ජගත් පරිසර පුවත් 506

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-10, පි. 2

එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් ඇතුළත් කමිටුවක් මගින් සකස් කර ඇති වාර්තාවක් අනුව, එරට පරිභෝජන රටාව මගින් ලෝකය මත ඇති කරන බලපෑම තිරසර නොවන බව පෙන්වා දී තිබේ. එරට පාර්ලිමේන්තුවේ පරිසර විගණන කමිටුව මගින් සකස් කර ඇති මේ වාර්තාව අනුව මේ භාණ්ඩ පරිභෝජනය ලෝකයේ වනාන්තර මත ඇති කරන බලපෑම බරලතළ වේ.

මෙහි දී යොදාගෙන ඇත්තේ රටක් තුළ පරිභෝජනය කරනු ලබන නිෂ්පාදන ටොන් එකක් වෙනුවෙන් විනාශ වන වනාන්තර ප්‍රමාණය හෙවත් ‘වන විනාශයේ පියසටහන’ යනුවෙන් හැඳින්වෙන නිර්ණායකයයි. මේ ආකාරයෙන් ගත් විට, බ්‍රිතාන්‍යයේ වන විනාශයේ පියසටහන භාණ්ඩ ටොන් දහසකට හෙක්ටයාර 0.3ක් පමණ වේ. මෙය චීනය වනි ලෝකයේ වෙනත් රටවලට වඩා ඉහළය. මේ නිසා එය තිරසර නොවන්නක් ලෙස මේ වාර්තාව මගින් හඳුන්වා දී තිබේ.

විවිධ රටවල වනවිනාශයේ පියසටහන සකස් කිරීම සඳහා ඉහළ වනාන්තර විනාශයක් ඇති කරන භාණ්ඩවල වෙළෙඳ රටාව පිළිබඳ විශ්ලේෂණය කිරීමට විද්‍යාඥයින් විසින් කටයුතු කර තිබේ. මෙවැනි නිෂ්පාදන අතර, සෝයා, කොකෝවා, පාම් තෙල්, ගවමස් හා සම් වැනි නිෂ්පාදන ප්‍රධාන තැනක් ගනී.

නීතිවිරෝධී වනාන්තර විනාශය තුළින් නිපදවනු ලබන නිෂ්පාදන තහනම් කිරීම සඳහා පියවර ගැනීමට බ්‍රිතාන්‍යය සලකා බලමින් ඇතත්, ඒ මගින් සිදුවන බලපෑම් අඩු බව සඳහන වේ. ඊට හේතුව වන්නේ ඒ වනාන්තර විනාශය සිදුවන රටවල වනාන්තර එළිපෙහෙළි කරනු ලබන්නේ නීත්‍යානුකූලව වන නිසාය. අනෙක් අතට, ඒවැනි තහනමක් සිදුකරනු ලැබුවහොත්, අදාළ වනාන්තර ආරක්ෂා කිරීමට නීති ඉවත් කිරීමට පවා ඒ රටවල් කටයුතු කිරීමේ අවදානමක් පවතී.


No comments:

Post a Comment