Tuesday, January 10, 2023

මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා දෙකක්

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 481

විදුසර, 2023-01-11, පි. 2


බ්‍රිතාන්‍යයේ වැඩිම සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය වාර්තා වී ඇති වර්ෂය ගෙවුණු 2022 වර්ෂය බව එරට කාලගුණ කාර්යාලය පවසයි. ඒ අගය සෙල්සියස් අංශක 10.03ක් වූ අතර, එය අංශක දහය ඉක්මවා ඇත්තේ වාර්තා තැබීම ආරම්භ වූ පසු පළමු වතාවටය. මීට පෙර තිබු වැඩිම උෂ්ණත්වය වන අංශක 9.88ක් වාර්තා වී ඇත්තේ 2014 වර්ෂයේ දීය. එමෙන්ම, බ්‍රිතානයයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්ව අගයයන් 20න් 15ක්ම විසිඑක්වැනි සියවසේ දී වාර්තා වී තිබේ. මේ අතරින් ඉහළම උෂ්ණත්ව වාර්තා වී ඇති වර්ෂ දහයම ගත වු දශක දෙකක කාලය තුළ වාර්තා වීම ද පවත්නා ප්‍රවණතාවය පෙන්වයි.

මේ අතර, 2022 වර්ෂයේ දී සුළං බලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව ද බ්‍රිතාන්‍යය වාර්තාවක් තබා තිබේ. ඒ ප්‍රමාණය, එරට මුළු විදුලි සැපයුමෙන් 26.8%ක් පමණ වේ. ගත වූ වර්ෂයේ දී සුළං බලය ද ඇතුළත් සියලු පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභව හා න්‍යෂ්ටික බලය මගින් නිපදවන ලද විදුලිය ප්‍රමාණය මුළු විදුලි ජනනයෙන් 48.5%ක් තරම්ය. ඛනිජ තෙල් හා ගල් අඟුරුවලින් නිපදවන ලද මුළු විදුලිය සමස්ත විදුලි සැපයුමෙන් 40%ක් පමණ වී තිබේ. මේ ආකාරයෙන් පුනර්ජනනය කළ හැකි බලශක්තියේ වර්ධනය දේශගුණ වෙනස් වීමට විසඳුම් සෙවීමේ දී වැදගත් සිදුවීමකි. කෙසේ වෙතත්, පුනර්ජනනය කළ හැකි විදුලි බල ජනනය සම්බන්ධව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වන නමුත්, එරට බලධාරීන් ඇතැම් පොසිල ඉන්ධන පිළිබඳව ද මෑත කාලයේ දී යළි අවධානය යොමු කර ඇත. යුක්රේන යුද්ධය නිසා යුරෝපයේ රටවලට ගෑස් සැපයීම සීමා කිරීමට රුසියාව ගත් ක්‍රියාමාර්ග ද මේ තත්ත්වය සඳහා බලපෑමක් සිදු කර ඇත.

No comments:

Post a Comment