Wednesday, January 11, 2023

සියවස අවසානයේ දී ග්ලැසියරවලින් අඩක් අහිමිවන හැඩ

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 481

විදුසර, 2023-01-11, පි. 2


පැරිස් දේශගුණ ගිවිසුමේ ඉලක්කය වන්නේ සෙල්සියස් අංශක 1.5කට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීමය. එහෙත් 2100 වර්ෂය වන විට ලෝකයේ ග්ලැසියරවලින් 49%ක් පමණ ප්‍රමාණයක් ඒ උෂ්ණත්ව මට්ටමේ දී ද අහිමි විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. එසේම අද වේගයෙන් උෂ්ණත්වය ඉහළ ගොස් එය අංශක 2.7 දක්වා ඉහළ ගියහොත්, ග්ලැසියරවලින් 67%ක් පමණ අහිමි විය හැකිය.

ග්‍රීන්ලන්තය හා ඇන්ටාක්ටිකාව හැරුණු විට සෙසු ග්ලැසියර පිළිබද දශක දෙකක පමණ චන්ද්‍රිකා දත්ත යොදාගෙන සිදු කළ මේ අධ්‍යයනයට අනුව ග්ලැසියර අහිමි වන ප්‍රමාණය මෙන්ම එහි ප්‍රතිඵල ද කලින් සිතා සිටියාට වඩා අධිකය. මේ අහිමි වන ප්‍රමාණයෙන් අඩක් පමණ ඉදිරි වර්ෂ තිහක කාලය තුළ සිදුවිය හැකිය. මේ ග්ලැසියර අහිමි වීමේ ගැටලුව ඇත්තේ එහි ප්‍රතිඵල පිළිබඳව සැලකූ විටය. ග්ලැසියර දියැවීම වේගවත් වුවහොත් ලෝකයේ මුහුදු මට්ටම ඉහළ යෑම තවත් බරපතළ විය හැකිය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් ඉහළ ගියහොත් මුහුදු මට්ටම මිලිමීටර් 90කින් ඉහළ යනු ඇත. එසේම උෂ්ණත්වය අංශක 2.7කින් ඉහළ ගියහොත් මුහුදු මට්ටම මිලිමීටර් 115කින් ඉහළ යෑමේ අවස්ථාවක් තිබේ. මීට පෙර ඉදිරිපත් කළ ආකෘතිවලින් දැක් වූ ප්‍රමාණයට වඩා මේ නව අගය 23%ක් පමණ අධිකය. මුහුදු මට්යම ඉහළ වෑමෙන් ගොඩබිම් ප්‍රදේශ අහිමි වීම, වෙරළ කලාපයේ පානීය ජල සැපයුමට බාධා වීම, ගංවතුර වැනි ස්වාභාවික ආපදා ඉහළ යෑම වැනි විපාක ඇති විය හැකිය. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.abo1324)
https://www.science.org/doi/10.1126/science.abo1324


No comments:

Post a Comment