Thursday, February 7, 2019

ජපානය වාණිජමය තල්මහ දඩයමට සැරසෙයි?

ජගත් පරිසර පුවත් 295 - 02.01.2019


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.01.2019, පි. 3 (Vidusara)



මෙම වර්ෂයේ ජුලි මාසයේ සිට නැවතත් වාණිජමය වශයෙන් සිදුකරනු ලබන තල්මහ දඩයම ආරම්භ කිරීට සූදානම් බව ජපානය පවසා ඇත. මෙය ජාත්‍යන්තර අවධානය දිනාගැනීමට හැකි සිදුවීමක් සේ සැලකෙයි. ඒ සඳහා අන්තර්ජාතික තල්මහ කොමිසමෙන් ඉවත්වීමට අවශ්‍ය වුවහොත් සූදානම් බවද එරට බලධාරීන් පවසා ඇත. කෙසේ වෙතත්, එරට රජයේ ප‍්‍රකාශකයාට අනුව මෙම දඩයම එරටට අයත් මුහුදු සීමාවට (territorial waters) හා ආර්ථික කලාපවලට (economic zones) සීමාවෙයි. දැනටමත් ඇතැම් රටවල් මේ පිළිබඳව කණගාටුවන බව ප‍්‍රකාශ කර ඇත.

අන්තර්ජාතික තල්මහ කොමිසම (IWC) 1986 වර්ෂයේදී වාණිජමය වශයෙන් සිදුකරන තල්මහ දඩයම් කිරීම තහනම් කරමින් තහනමක් පැනවීය. එයට හේතුව වුූයේ අධික ලෙස දඩයම් කිරීමෙන් ඇතැම් තල්මහ විශේෂ වඳවී යෑමේ තර්ජනයකට ලක්වීමයි.

කෙසේ වෙතත් තල්මහ දඩයම් කිරීම හා ආහාරයට ගැනීම ජපාන සංස්කෘතියේ කොටසක් බව පෙන්වා දෙන එරට බලධාරීන් තල්මහ දඩයම් කිරීමේ උක්ත තහනමින් පසුව එම නීතියේ ඇති එක් අවස්ථාවක් ප‍්‍රයෝජනයට ගනිමින් විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි කියමින් තල්මසුන් දඩයම් කරයි. වාර්ෂිකව ඇන්ටාක්ටිකාවට ආසන්න දකුණු මුහුදු ප‍්‍රදේශයේ වාර්ෂිකව විශාල තල්මහ ප‍්‍රමාණයක් මේ අනුව දඩයම් කරනු ලැබෙයි. මේ තත්ත්වය බොහෝ සංරක්ෂණවේදීන් හා සංවිධානවල මෙන්ම වෙනත් රටවලද විවේචනයට ලක්ව ඇත.

මෙම තත්ත්වය යටතේ කිසියම් දිනක ජපානය තල්මහ කොමිසෙමන් ඉවත් වීම හා වාණිජ දඩයමට යොමු වීම පිළිබඳව අපේක්ෂා කරන ලදි. පසුගිය සැප්තැම්බරයේදී වාණිජමය තල්මහ දඩයමක් සම්බන්ධව ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවක්ද පරාජයට පත්විය. ජපානය මේ පිළිබඳව පවසන්නේ තල්මහ කොමිසම සහයෝගය දෙන්නේ තල්මහ සතුන් ගණන ආරක්ෂා කිරීම පිණිස මිස, තිරසර ආකාරයෙන් දඩයම් කිරීමකට නොවන බවයි.

ජපානයේ නව තීරණය නිසා යම් ගැටලූ සහගත තත්ත්වයක් ඇති විය හැකිය. එයට හේතුව වන්නේ මේ වන විට කොමිසම මගින් තහනම් කර තිබෙන හා ගහන යථා තත්ත්වයට පත්ව නොමැති වීම නිසා තවමත් තර්ජනයට ලක්ව ඇති තල්මහ විශේෂ පවා මේ යටතේ දඩයම් කිරීමට අවස්ථාවක් තිබීමය. කෙසේ වෙතත් මේ නව තීරණයත් සම`ග ජපාන තල්මහ දඩයම එරටට අයත් මුහුදු තීරයට සීමාවීම නිසා ඇන්ටාක්ටිකාව ආසන්න දකුණු අර්ධගෝලයේ සිදුවන තල්මහ දඩයම් කිරීම නවතිනු ඇතැයි අපේක්ෂිතය.

No comments:

Post a Comment