Tuesday, March 19, 2024

උණුසුම වැඩිම පෙබරවාරි මාසය!

ජගත් පරිසර පුවත් 511

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-03-20, පි. 2

ගත වූ පෙබරවාරි මාසය ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති උණුසුම ඉහළම පෙබරවාරි මාසය බව යුරෝපයේ කොපර්නිකස් දේශගුණ වෙනස්වීම සේවය සඳහන් කරයි. ඒ මාසයේ දී ලෝකයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වය පුර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.77ක් ඉහළය. එසේම, එය මීට පෙර පෙබරවාරි මාසයක පැවති සාමාන්‍ය උෂ්ණත්වය වූ 2016 වර්ෂයේ දී වාර්තා වු අගයට වඩා අංශක 0.12ක් ඉහළය.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ 2023 ජුනි මාසයේ සිට මේ දල්වා ගත වි ඇති මාස සියල්ලේ දීම ඒ මාසවලට අදාළ උෂ්ණත්වය පිළිබඳ වාර්තා අලුත් වී තිබීමයි. එසේම අඛණ්ඩව මාස දොළහක කාලයක් තුළ පැවති සාමාන්‍ය උෂ්ණත්වය පෙබරවාරි මාසයේ සෙල්සියස් අංශක 1.56ක් පමණ විය. මේ තත්ත්වය මුලින්ම වාර්තා වූයේ ගත වූ ජනවාරි මාසයේ දීය. එසේම ලෝකයේ දෛනික සාමාන්‍ය සාගර උෂ්ණත්වයේ ඉහළම අගය වාර්තා වී ඇතිතේ පෙබරවාරි 28 වන දාය. එය අංශක 21.09ක් වන අතර මීට පෙර වාර්තා වූ අගයට වඩා අංශක 0.07කින් අධිකය.

පෙබරවාරි මාසයේ පැවති මේ උණුසුම් තත්ත්වය ලෝකයේ ඇතැම් ප්‍රදේශවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. බටහිර ඔස්ට්‍රේ‍ලියාව, අග්නිදිග ආසියාව, දකුණු දිග අප්‍රිකාව හා දකුනු ඇමරිකානු කලාපට මේ තත්ත්වය වඩාත් බලපා ඇත. මේ කාලය දක්ෂිණාර්ධ‌ගෝලයේ උණුසුම් සමයයි.

විද්‍යාඥයන් විසින් මේ වන විට පැහැදිලි කර ඇති පරිදි මැත වර්ෂයක පමණ කාලයේ පවත්නා මේ තත්ත්වය සඳහා හේතුව මිනිසුන් විසින් ඇති කරන ලද දේශගුණ වෙනස් වීම වන අතර, එය මේ වර්ෂයේ දී උග්‍ර කිරීම සඳහා හේතු වී ඇත්තේ පවත්නා එල් නිනෝ තත්ත්වයයි.

No comments:

Post a Comment