Wednesday, March 6, 2024

බංගලාදේශය අලින් ඇල්ලීම තහනම් කරයි

ජගත් පරිසර පුවත් 510

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-03-06, පි. 2


එරට තුළ දැඩි ලෙස වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති අලින් ස්වාභාවික පරිසරයෙන් අල්ලා ගැනීම තහනම් කරමින් බංගලාදේශයේ අධිකරණයක් නියෝගයක් නිකුත් කර ඇත. මේ අනුව අලින් අල්ලාගෙන හීලෑ කිරීම සඳහා‌ නිකුත් කර ඇති බලපත්‍ර නිකුත් කිරීම තහනම් වේ. අලින් ඇල්ලීම සඳහා බලපත් නිකුත් කර ඇත්තේ දැව හෙලීම සඳහා අලින් යොදැගැනීම සඳහා වුවත් ඒ අතරින් ඇතැම් සතුන් සර්කස් සඳහා මෙන්ම සිඟාකෑම සඳහා ද‌ යොදාගැනීම සිදුව තිබේ. මෙවැනි කටයුතු සඳහා අලින් යොදාගැනීම අදාළ බලපත් නිකුත් කරන ලද හේතුව උල්ලංඝනය කිරීමක් බව අධිකරණය තීරණය කර ඇත.

බංගලාදේශයේ ජීවත්වන අලින්ගේ ගණන 200ක් පමණ වන බව සැලකෙන අතර, ඉන් අඩක් පමණ හීලෑ කරන ලද අලින් වේ. එරට අතීතයේ අලින් සුලභ වූ රටක් වුවද, අධික ලෙස දඩයම් කිරීම සහ අලිඇතුන් වාසය කරනව වාසස්ථාන විනාශ වීම නිසා මේ වන විට අලි ගහනය විශාල ලෙසින් අඩු වී තිබේ.

අධිකරණ දුන් තීරණය එරට සත්ත්ව හිමිකම් සංවිධාන මෙන්ම, පරිසර ක්‍රියාකාරීන්ගේ ද ප්‍රශංසාවට ලක්ව ඇත. විශේෂයෙන්, ඇතැම් කටයුතු සඳහා අලින් යොදාගැනීමේ දී මෙන්ම, අල්ලා ගන්නා ලද අලින් පුහුණු කිරීමේ දී කෘර වදහිංසා ආදියට ලක්කරනු ලැබීම මේ කණ්ඩායම්වල විරෝධයට හේතු වී තිබේ.

No comments:

Post a Comment