Tuesday, March 19, 2024

යුරෝපයේ වායු දූෂණය අඩුවෙලා

ජගත් පරිසර පුවත් 511

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-03-20, පි. 2

ගත වූ වසර 20ක පමණ කාලය තුළ යුරෝපයේ වායු දූෂණයේ අඩු වීමක් දැකිය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ඒ අනුව වාතයේ ගුණාත්මක තත්ත්වයේ ඉහළ යෑමක් දැකිය හැකිය. යුරෝපයේ රටවල් 35ක කලාප 1426ක පමණ ප්‍රමාණයක 2003 හා 2019 අතර කාලයේ පැවති වායු දූෂණ මට්ටම පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමෙන් මේ අධ්‍යයනය සිදු කර තිබේ. ඒ ප්‍රදේශයේ වාසය කරන ජනගහනය මිලියන 543ක් පමණ වේ.

මෙහි දී අවධානය යොමුව ඇත්තේ PM10 හා PM2.5 යන අංශුමය ද්‍රව්‍ය කාණ්ඩ දෙක, නයිට්‍රජන් ඩයොක්සයිඩ් හා ඕසෝන් වායුව පිළිබඳවය. මේ අනුව PM10 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය වර්ෂයකට 2.72%ක ප්‍රමාණයකින් ද, PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය වර්ෂයකට 1.72%ක ප්‍රමාණයකින් ද, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 2.45%ක ප්‍රමාණයකින් ද වාර්ෂිකව අඩු වී තිබේ. ඕසෝන් සාන්ද්‍රණය දකුණු දිග යුරෝපයේ පමණක් 0.58%කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි යුරෝපා වැසියන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වායු දුෂක සාන්ද්‍රණය අහිතකර යැයි පවසන මට්ටමට වඩා ඉහළ මට්ටමකින් ඇති ප්‍රදේශවලය. නිදසුනක් ලෙස ගතහොත්, ජනගහනයෙන් 98.1%ක් පමණ වාසය කරන්නේ PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය ඉහළ ප්‍රදේශවලය. PM10 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍යවල අහිතකර සාන්ද්‍රණයක් ඇති ප්‍රදේශවල ජනගහනයෙන් 80.15%ක් වාසය කරති. නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම ගතහොත්  එවැනි ප්‍රදේශවල වාසය කරන පිරිසේ ප්‍රමාණය 86.34%කි.

මූලාශ්‍රය - Nature Communications, DOI: 10.1038/s41467-024-46103-3
සබැඳිය - https://www.nature.com/articles/s41467-024-46103-3

No comments:

Post a Comment