Tuesday, December 26, 2023

බළලුන්ගේ පරිසර බලපෑම

ජගත් පරිසර පුවත් 505

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-12-27, පි. 2

මිනිසුන් විසින් ඇති කරනු ලබන බළලුන් විසින් වෙනත් ජීවීන් මත කරනු ලබන බලපෑම පිළිබඳ අධ්‍යයනයක් පසුගියදා ප්‍රකාශයට පත්ව ඇත. ගෝලීය වශයෙන් බළලුන් විසින් ආහාරයට ගන්නා සත්ත්ව විශේෂ සම්බන්ධ ලේඛනයක් සකස් කිරීම සඳහා කළ මේ අධ්‍යයනයේ දී, බළලුන් විසින් ආහාරයට ගන්නා සත්ත්ව විශේෂ පිළිබඳ මේ වන විට සිදු කර ඇති අධ්‍යයන පන්සියයකට අධික ප්‍රමාණයක් සමාලෝචනය කර තිබේ. ඒ අනුව බළලුන් විසින් ආහාරයට ගන්නා සෙසු සත්ත්ව විශේෂ ගණන 2,084ක් පමණ වේ. මේ අතර විවිධ මට්ටම්වලින් සංරක්ෂණ අවධානයක් යොමු වි ඇති විශේෂ ගණන 347ක් පමණ වේ.

බළලුන් විසින් ආහාරයට ගන්නා මේ සත්ත්ව විශේෂ අතරට, පක්ෂි විශේෂ 981ක්, උරග විශේෂ 463ක් හා ක්ෂීරපායී විශේෂ 431ක් පමණ ඇතුළත්ය. කෘමී හා උභයජීවීන් ඇත්තේ ඊට වඩා අඩු ප්‍රමාණයක් වන අතර, ඒ පිළිවෙලින් විශේෂ 119ක් හා විශේෂ 57ක් ලෙසය. 

ඇන්ටාක්ටිකාව හැර ලෝකයේ සෙසු සියලු මහාද්වීපවල ව්‍යාප්තව ඇති බළලුන්, ලෝකයේ වඩාත්ම ගැටලුකාරී ආක්‍රමණික ජීවි විශේෂ අතර ඇති බව මේ පර්යේෂකයක් සඳහන් කර ඇත. ඓතිහාසිකව ගත් විට බළලුන්ගෙන් හානි සිදුව ඇති පරිසර පද්ධති අතර දූපත් පරිසර පද්ධතිවල ජීවීන්ට සිදු වී ඇති හානිය වඩාත් බරපතළය. එවැනි පරිසර පද්ධතිවල ඇතැම් ජීවී විශේෂ වඳ වී යෑම සඳහා බළලුන් සැලකිය යුතු දායකත්වයක් සිදු කර තිබේ. මේ නිසා ලෝකයේ ඇතැම් ප්‍රදේශවල බළලුන් සඳහා සීමා පනවා තිබේ.  (මූලාශ්‍රය - Nature Communications, DOI: 10.1038/s41467-023-42766-6)

https://www.nature.com/articles/s41467-023-42766-6



  

No comments:

Post a Comment