Tuesday, December 12, 2023

දේශගුණ සමුළුවේ පළමු සතියේ ප්‍රගතිය

ජගත් පරිසර පුවත් 504

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-12-13, පි. 2


ඩුබායි හී දී පැවැත්වෙන දේශගුණ සමුළුව හෙවත් එක්සත් ජාතීන්ගේ දේශගුණ වෙනස් වීම පිළිබඳ රාමුගත සම්මුතියේ () පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ () පළමු සතිය අවසන් වී තිබේ. මෙතෙක් පැවැති විශාලතම දේශගුණ සමුළු වන මීට 97000ක් පමණ පිරිසක් සහභාගී වී ඇත. දෙසැම්බර් 12 දින දක්වා පැවැත්වීමට නියමිත සමුළුවේ මේ දක්වා ඇති වී තිබෙන වර්ධනයන් කීපයක් තිබේ.


අලාභ සහ හානි අරමුදල

සමුළුවේ ආරම්භක දිනයේ දීම ආලභ සහ හානි අරමුදල පිහිටුවීම සදහා එකඟ වීම ඇතැම් විට විස්මයට හේතු වූ කරුණක් ලෙස සැලකිය හැකිය. දේශගුණ වෙනස්වීම නිසා අහිතකර බලපෑම්වලින් දියුණු වන රටවලට ඇති විය හැකි අලාභ සහ හානිවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම අපේක්ෂා කරනු ලැබේ. මේ රටවල් දේශගුණ විපර්යාසවලට දායක වන්නේ අඩු වශයෙන් බැවින් ඊට වැඩි දායකත්වයක් දක්වන දියුණු රටවල මූල්‍ය දායකත්වයෙන් මෙවැනි අරමුදලක් පිහිටුවීම වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටින ලද්දකි.

දැන් මේ අරමුදල සඳහා එකඟ වී ඇතත්, මේ දක්වා ඊට ලබා දීමට එකඟ වී ඇති මුදල අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය. මේ දක්වා පොරොන්දු වී ඇත්තේ ඩොලර් මිලියන 700ක් පමණ ප්‍රමාණයක් වන අතර, එය අලාභ සහ හානි සඳහා වාර්ෂිකව අවශ්‍ය කරන මුදලෙන් ඉතා සුළු ප්‍රමාණයකි. දියුණුවන රටවල සිදුවන හානි සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 100ත් 580ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බව විවිධ ගණනය කිරීම්වලින් දක්වා ඇත. ඒ දෙක අතර මැද අගයක් ගත්තද, පොරොන්දු වී ඇති ආධාර ප්‍රමාණය 0.2%ක් තරම් අඩු ප්‍රමාණයකි. එසේම, මේ මුදල් ණය නොව, ප්‍රදාන වන අතර, අලුතින් ලබාදෙන්නක් ද විය යුතුය. පොරොන්දු වී ඇති සිය දායකත්වය පිළිබඳ විස්තර එළිකර ඇත්තේ අඩු රටවල් ගණනකි.

 

පොසිල ඉන්ධන හා පුනර්ජනනය කළහැකි බලශක්තිය

මෑත කාලයේ පැවැති දේශගුණ සමුළුවල දැකිය හැකි වූ වැදගත් වර්ධනයක් වූයේ පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම හෝ අවසන් කිරීම පිළිබඳ එකඟතාවයක් වර්ධනය වීමයි. මේ වර්ෂයේ දී ඒ පිළිබඳව විස්තර සහිත එකඟතාවයක් ඇතිවෙතැයි අපේක්ෂා පළ වී තිබිණි. එහෙත් මේ වර්ෂයේ සමුළුවේ සභාපතිත්වය හිමිවන්නේ තෙල් කර්මාන්තයේ දැවැන්ත රටක වීමෙන් පොසිල ඉන්ධන සඳහා සහාය පළකරන පිරිස් වෙතින් යම් අභියෝගයක් ඇති විය හැකි බවත් පෙන්වා දී තිබිණි.

සමුළුවට සහභාගී වීම සඳහා ලියාපදිංචි වී ඇති, පොසිල ඉන්ධන නිෂ්පාදකයන් හා යම් සම්බන්ධතාවක් ඇති නියෝජිතයන් ගණන පෙර වර්ෂය මෙන් සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ. හෙළි වූ කරුණු අනුව, 2,456ක් පමණ වූ මේ පිරිසේ ප්‍රමාණය, දේශගුණ වෙනස්වීමෙන් වැඩිම බලපෑමට ලක්වන රටවල් දහයෙන් පැමිණ ඇති නියෝජිත ප්‍රමාණයට වඩා අධිකය (කෙසේ වෙතත්, සමුළුව සඳහා ලියාපදිංචි වීමේ දී සිය වෘත්තීය හෙළි කිරීම අවශ්‍ය වීම මේ කරුණු අනාවරණය වීමට එක් හේතුවක් වී ඇත).

මේ අතර සමුළුවේ සභාපතිත්වය දරන සුල්තාන් අල් ජබාර් විසින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක සීමාවේ තබාගැනීම සඳහා පොසිල ඉන්ධන සීමා කිරීම අවශ්‍ය බවට විද්‍යාත්මක දත්ත නැතැයි පළ කරන ලද අදහසක් පිළිබඳ විවේචනයක් කරලියට පැමිණ තිබිණි. ඒ විවේචන පිළිබඳව අදහස් දැක්වූ ඔහු සිය අදහස් නිවැරදි නොවන ලෙස හුවාදක්වා ඇතැයි  බව පවසා ඇති අතර, පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම හා භාවිතයෙන් ඉවත් කිරීම වැළැක්විය නොහැක්කක් බව විශ්වාස කරන බව පවසා තිබේ.

මේ සමුළුව තුළ දී පුනර්ජනනය කළ හැකි බලශක්ති භාවිතය තුන්ගුණයකින් ඉහළ නැංවීම සඳහා රටවල් 119ක් ප්‍රතිඥා ලබා දී ඇති අතර, තෙල් සමාගම් 51ක් නිර්කාබනීකරණ ඉලක්ක සඳහා එකඟ වී ති‌බේ.

No comments:

Post a Comment