Tuesday, November 14, 2023

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් ප්‍රමාණය දෙගුණයක් ද?

ජගත් පරිසර පුවත් 502

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-11-15, පි. 2

ලෝකයේ තර්ජනයට පත්ව ඇති ජීවී විශේෂ සංඛ්‍යාව පිළිබඳව ඇති පිළිගත් ඇස්තමේන්තු මෙන් දෙගුණයක් පමණ ජීවීන් ප්‍රමාණයක් වඳවීමේ අවදානමට ලක් වී තිබිය හැකි බව නව විශ්ලේෂණයකින් පෙන්වා දී තිබේ. ඒ අනුව ලෝකයේ ජීවත්වන ජීවී විශේෂ අතරින් මිලියන දෙකක් පමණ ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයකට ලක්ව සිටියි.

මේ විශ්ලේෂණයේ දී වඳවීමේ තර්ජනය පිළිබඳව ඇගැයීමට ලක් කර ඇති  යුරෝපයේ භෞමික, ජලජ හා සමුද්‍රීය ජීවී විශේෂ 14,669ක සංරක්ෂණ තත්ත්වය පිළිබඳව විමසා ඇත. සමස්ත මහාද්වීපයේ දැකිය හැකි මුළු ජීවී විශේෂ අතරින් දහයෙන් පංගුවක් පමණ වන මේ විශේෂ පිළිබඳව IUCN රතු ලැයිස්තුව යොදාගනිමින් සිදු කර ඇති අධ්‍යයනය අනුව යුරෝපයේ ජීවී විශේෂ අතරින් 19.4%ක් වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති බව හෙළි වී ති‌බේ. එහි දී, ශාක අතරින් 27%ක් ද, අපෘෂ්ටවංශීන් 24%ක් ද, පෘෂ්ටවංශී සතුන් අතරින් 18%ක් ද වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

එහෙත්, 2019 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ කමිටුවකින් ප්‍රකාශ කර ඇති ආකාරයට ලෝකයේ කෘමි විශේෂ අතරින් වඳවීමේ අවදානමක ඇත්තේ 10%ක් පමණ ප්‍රමාණයකි. එහෙත් මෙම යුරෝපීය දත්ත ගෝලීය මට්ටමෙන් භාවිත කළහොත් කෘමීන් පිළිබඳව ඇති ඇස්තමේන්තු මීට වඩා ඉහළ යයි. ඒ අනුව ලෝකය පුරා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සියලු සතුන් හා ශාක විශේෂ ගණන මිලියන 2ක් පමණ පමණ විය හැකි බව මේ පර්යේෂකයින්ගේ අදහස වේ. එය පෙර කී එක්සත් ජාතීන්ගේ වාර්තාවේ මෙන් දෙගුණයක් පමණ ප්‍රමාණයකි.

මේ දක්වා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් පිළිබඳ අධ්‍යයනවල දී වැඩි අවධානයකට ලක්ව ඇත්තේ පෘෂ්ටවංශීන් හා ශාක විශේෂ වේ. කෘමීන් පිළිබඳව යොමු වී ඇත්තේ අඩු අවධානයකි. එහෙත් ලෝකය මත ජීවය පැවතීම සඳහා කෘමීන්ගේ පැවැත්ම අත්‍යාවශ්‍ය වේ.

මූලාහ්‍රය - PLoS ONE, DOI: 10.1371/journal.pone.0293083

No comments:

Post a Comment