Tuesday, November 14, 2023

උණුසුම්ම වර්ෂය 2023 ද?

ජගත් පරිසර පුවත් 502

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-11-15, පි. 2

ගතවන 2023 වර්ෂය මෙතෙක් වාර්තා වී ඇති උණුසුම වැඩිම වර්ෂය වීමට ඉඩ ඇති බව පසුගියදා පුවත් පළ විටය. යුරෝපා දේශගුණ වෙනස් වීමේ සේවාවේ දත්ත අනුව, 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පැවැති ගෝලීය සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය, මීට පෙර පැවැති උණුසුමින් වැඩිම ඔක්තෝබර් මාසය වූ 2019 ඔක්තෝබර් මාසයේ පැවැති අගයට වඩා සෙල්සියස් අංශක 0.4ක් අධික විය. 2023 ඔක්තෝබර් දක්වා අවසාන මාස පහක කාලයේ සෑම මාසයක දීම අඛණ්ඩව වාර්තාගත උෂ්ණත්ව වාර්තා වීම ද විශේෂයකි.

මේ වර්ෂය තාප ප්‍රවාහ, වාර්තාගත උෂ්ණත්ව, ගංවතුර හා ලැව් ගිනි ආදිය ඇතිවීම සුලබ විය. මේ තත්ත්වය සඳහා කාබන් විමෝචන නිසා ඇතිවන දේශගුණ වෙනස් වීම මෙන්ම, පවත්නා එල් නිනෝ තත්ත්වය ද හේතු වී ඇති බව විද්‍යාඥයින්ගේ අදහසයි. මේ ඉහළ උෂ්ණත්වයක් පැවතීම 2024 වර්ෂයේ මුල් කාලය දක්වා ම වාර්තා විය හැකි බව ද පෙන්වා දී තිබේ.

2023 වර්ෂය අවසන් වීමට තවත් සති හතක පමණ කාලයක් ඉතිරිව තිබේ. නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ගෝලීය උෂ්ණත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවුවහොත් 2023 වර්ෂය මෙතෙක් වාර්තා ගත ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වාර්තා වන වර්ෂය වීම වැළැක්විය නොහැක. මේ මාසයේ අග දී ලෝක දේශගුණ සමුළුව පැවැත්වීමට ද නියමිතය.

No comments:

Post a Comment