මා විසින් ලියන ලද ජගත් මට්ටමේ පරිසර පුවත් මේ බ්ලොග් අඩවියේ ඇතුළත්ය. 2013 වර්ෂයේ සිට 'විදුසර' පුවත්පතට සතිපතා මා විසින් රචනා කරනු ලබන පුවත් මෙන්ම, 2022 අගෝස්තු සිට බ්ලොග් අඩවියට පමණක් ලියු පුවත් ද එක් කර ඇත. ඉදිරියේ දී පැරණි පුවත් ද සමඟ යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
Saturday, February 29, 2020
Friday, January 31, 2020
සම්පත් පරිභෝජනය වාර්තාගත මට්ටමකට
ජගත් පරිසර පුවත් 349 - 29.01.2020
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 29.01.2020, පි. 3 (Vidusara)
මිනිසුන් විසින් එක් වර්ෂයක් තුළ භාවිත කරන විවිධ සම්පත් ප්‍රමාණය ටොන් බිලියන 100ක සීමාව ඉක්මවා ගොස් ඇති බව පසුගියදා එළිදැක්වූ වාර්තාවක සඳහන් වෙයි. එය නිශ්චිතව දක්වන්නේ නම් ටොන් බිලියන 100.6කි. මේ අතරින් ටොන් බිලියන 50.8ක් පමණ ඛනිජ ද්‍රව්‍ය වේ. ටොන් බිලියන 24.6ක් පමණ ගස් හා භෝග වෙයි. තවත් 15.1ක් පමණ පොසිල ඉන්ධනය. එමෙන්ම ටොන් බිලියන 10.1ක් පමණ ලෝහ සහිත පස්ය.
ලෝකය වාර්ෂිකව භාවිත කරන විවිධ සම්පත් ප්‍රමාණය 1970 සිට මේ වන විට සිව්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. එහෙත් මේ කාලය තුළ ජනගහනය වර්ධනය වී ඇත්තේ දෙගුණයකින් පමණකි. අද ජීවත්වන අයෙකු එක් වසරකදී සම්පත් ටොන් 13ක් පමණ භාවිත කරන බව මේ අනුව පෙනේ.
වාර්ෂිකව භාවිත වන මේ සම්පත් ප්‍රමාණය අතරින් වසරකට පසුව භාවිත වන්නේ ටොන් බිලියන 31කි. තවත් 14.6ක් විමෝචන ලෙස පිටවෙයි. ටොන් බිලියන 22.4ක් පමණ පරිසරයට එක් වෙයි. තවත් ටොන් බිලියන 32.6න් පමණ ඉවත දමනු ලැබේ. සමස්තයක් ලෙස ගත් විට නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය සඳහා යොදා ගනු ලබන්නේ මුළු සම්පත් ප්‍රමාණයෙන් 8.6%කි.
එය මෑත කාලීන ප්‍රවණතාවය පෙන්වාදෙන්නකි. ගත වූ අවසන් වසර දෙක ඇතුළත සම්පත් පරිභෝජනය කරන ප්‍රමාණය 8%කින් ඉහළ ගොස් ඇතත් ඒ වසර දෙක තුළ ප්‍රතිචක්‍රිකරණය හා යළි භාවිතය 9.1% සිට 8.5%ක් පමණ දක්වා අඩු වී ඇත. මේ ආකාරයෙන් ලෝකයේ පවත්නා සම්පත් සීමා රහිත බවක් සිතමින් පරිභෝජනය කිරීමට යෑම ලෝකයටම අහිතකර ප්‍රතිඵලයක් අත්කර දිය හැකි දෙයකි.
මූලාශ්‍රය - The Circularity Gap Report 2020, www.circularity-gap.world/2020
Subscribe to:
Posts (Atom)